නේපාලයේදී අල්ලාගත් ඉෂාරා සෙව්වන්දි මේ වනවිට දිවයිනට රැගෙන ඇවිත් තිබෙයි. ඇය අල්ලාගත් මෙහෙයුම සම්බන්ධයෙන් නේපාලයේ පළවන කත්මණ්ඩු පෝස්ට් පුවත්පත සිය වෙබ් අඩවියේ අද (15) පළකර තිබූ ලිපියේ සිංහල පරිවර්තනය පහතින්
ශ්‍රී ලංකාවේ පාතාල නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්නගේ ඝාතනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් හයදෙනෙකු කත්මණ්ඩු නුවරදී අත්අඩංගුවට ගැනීමට හැතිව ඇති අතර ඔවුන් අනතුරුව නේපාලයෙන් පිටුවහල් කර තිබේ.
නේපාල පොලිසිය සමග සම්බන්ධීකරණයෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරුවන් කත්මණ්ඩු සහ බක්තපූර් ප්‍රදේශවල කුලී නිවාසවල පදිංචිව සිටි බවට අනාවරණය වීමෙන් පසු බදාදා දිනයේදී මෙසේ පිටුවහල් කිරීම සිදුවිය.
ජ්‍යෙෂ්ඨ පොලිස් ආරංචි මාර්ගවලට අනුව, මෙලෙස පිටුවහල් කරනු ලැබ ඇත්තේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ පිංපුර දේවගේ (26), ජීවරාසන් කනකරාසා (33), තක්ෂි නන්දකුමාර් (23), දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කලුතර (49), කෙනඩි බස්තියම්පිල්ලේ (35) සහ දිනේෂ් නිශාන්ත කුමාර වික්‍රම ආරච්චිගේ (43) යන අයයි.
2024 පෙබරවාරි 19 වන දින කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංජීව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒ හේතුවෙන් නේපාලය ඇතුළු සාමාජික රටවල් ඇයගේ ගමන් බිමන් පිළිබඳව විමසිල්ලෙන් පසු විය.
කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් නිරීක්ෂණ කටයුතු තර කළ බව නේපාල පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. සැකකරුවන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා නක්සල් හි පිහිටි නේපාල පොලිස් මූලස්ථානයේ ජාත්‍යන්තර පොලිස් ජාතික මධ්‍යම කාර්යාංශය විසින් විශේෂ කණ්ඩායමක් යොදවා තිබුණි.
මෙම සැකකරුවන් හයදෙනාම මැලේසියාවේ සහ ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකික අපරාධ කල්ලියක් වන කුප්‍රකට "කෙහැල්බද්දර පද්මේ" කල්ලියේ සාමාජිකයන් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සංජීවගේ ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන පද්මේ නමැත්තාට එරෙහිවද ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඔහුව අගෝස්තු 25 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් ඉන්දියානු ජාතිකයන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ අනන්‍යතා භාවිතා කර සති කිහිපයක් නේපාලයේ රහසිගතව ජීවත් වී ඇති බවට අනාවරණය වී ඇත.
ඔවුන්ගෙන් දෙදෙනෙකු ගුවන් මගින් නේපාලයට ඇතුළු වී ඇති අතර සෙසු අය ඉන්දියාවේ සිට ගොඩබිම් මාර්ගයෙන් දේශ සීමාව තරණය කර ඇති බවට විශ්වාස කෙරේ.
සැකකරුවන් කිසිවෙකු නේපාලය තුළ අපරාධ සිදු කර නොතිබූ බැවින්, එරට නීතියට අනුකූලව ඔවුන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීම සඳහා බලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කර තිබුණි.
"ඔවුන්ට නීතිමය අවශ්‍යතා අනුව දඩ නියම කර ඇති අතර, පොලිස් අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ට භාර දී ඇත," යනුවෙන් ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙක් තහවුරු කළේය.
ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් නේපාලයේ රැකවරණය පැතීමේ මෙවැනි සිදුවීම් අතිශය විරල බව ජාත්‍යන්තර පොලිස් නිලධාරීන් සඳහන් කළ අතර, ඔවුන් කඩිනමින් පිටුවහල් කිරීම සහතික කිරීම සඳහා නේපාල පොලිසිය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර සම්බන්ධීකරණය ඉතා වැදගත් වූ බවද වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval