යසාරා අබේනායක මහත්මිය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි සහිත වාරණ ආඥාවක් ලබාගෙන තිබේ. ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම ඉල්ලීම කැඳවා ඇති අතර, 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත.
සුදත්ත තිලකසිරි මහතාට අමතරව ගූගල්, යූටියුබ් සහ ටික්ටොක් යන සමාගම් ද මෙම නියෝගයේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.සිය පෙත්සම මගින් යසාරා අබේනායක මහත්මිය පෙන්වා දී ඇත්තේ, සුදත්ත තිලකසිරි මහතා සිය යූටියුබ් සහ ටික්ටොක් නාලිකා ඔස්සේ තමාට හිරිහැර කිරීමේ චේතනාවෙන් සිතාමතාම අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බවයි. වසීම් තාජුඩීන් ඝාතනය ලිංගික කාරණයක් මත සිදුවූවක් බවටත්,
ඇයව විවිධ පුද්ගලයන් විසින් 'පාවිච්චි කර' ඇති බවටත්, එමෙන්ම තාජුඩීන් ඝාතනයට ඇයගේ සිරුරේ නිශ්චිත ස්ථානයක පිහිටි ලපයක් පිළිබඳ කාරණයක් මුල් වූ බවටත් තිලකසිරි මහතා ප්‍රකාශ කර ඇති බව ඇය චෝදනා කරයි.
මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අබේනායක මහත්මිය, තමන් වසීම් තාජුඩීන් නමැති පුද්ගලයා කිසිසේත් නොහඳුනන බවත්, ඔහු සමග කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නොතිබූ බවත් සිය පෙත්සමෙන් අවධාරණය කර ඇත. තවද, ප්‍රචාරය වන ආකාරයේ ලපයක් සිය සිරුරේ අදාළ ස්ථානයේ නොමැති බවත්,
ඒ පිළිබඳ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර එය තහවුරු කර ඇති බවත් ඇය අධිකරණයට දන්වා තිබේ.
තමන් අතීතයේ යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතියව සිටි බව පිළිගන්නා ඇය, තමන් මේ වන විට ෆාසිල් මරිජා මහතාගේ බිරිඳ බවත්, දෙදරු මවක් බවත් සඳහන් කරයි. මෙම අසත්‍ය ප්‍රචාරයන් සහ ඇගේ චරිතය පිළිබඳ කියැවෙන කරුණු හේතුවෙන් තමන් දෙදරු මවක් ලෙස දරුණු ලැජ්ජාවකට සහ සමාජ අපහසුතාවයකට පත්ව ඇති බවත්, මේ හේතුවෙන් සැමියා සහ දරුවන් ඇතුළු පවුල තුළ අභ්‍යන්තර ආරවුල් පවා ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත් ඇය පෙන්වා දී තිබේ.
මෙම වාරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සුදත්ත තිලකසිරි මහතාට දින 14ක කාලයක් හිමිවනු ඇත. ඔහුට සිය නීතිඥයා මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කර මෙම ආඥාව ඉවත් කරවා ගැනීමට හැකියාව පවතී. මෙම නඩුව නැවත ඔක්තෝබර් 28 වන දින කැඳවීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval