ishara-sewwandi-arrested-in-nepal

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී නීතියේ රැහැනට හසුකරගෙන තිබේ. ඇය ඊයේ දිනයේදී නේපාලයේදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කළේය.



මෙම සැකකාරිය සමග 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගේ සගයෙකු බව පැවසෙන අයෙකු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු ද නේපාලයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට උසාවියට පැමිණි ඇය එම ඝාතනය සැලසුම් කළ මහ මොළකාරිනිය ලෙසද හඳුන්වා තිබුණි.



පසුගිය කාලය පුරා ඇයව සෙවීමට පොලිසිය විවිධ උත්සාහයන් ගෙන තිබූ අතර ඇය වැනි වෙනත් අය සොයාගත් අවස්ථාද වාර්තාවී තිබුණි.
රටින් පළාගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරිණි. ඒ, මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක 'කෙහෙල්බද්දර පද්මේ' ගෙන් අනාවරණය වූ තොරතුරු මත පදනම්වය.

ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය ලබා ගනිමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි. 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ වෙඩිතැබීම් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන නීතිඥවරියක ලෙස වෙස්ගත්ව වෙඩික්කරුට ගිනි අවිය ලබාදුන් බවට සැක කෙරෙන කාන්තාව එම ඝාතන සැලසුම පසුපස සිට විශේෂ කාර්යභාරයක් කර තිබුණි.

මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති මෙම කාන්තාව  පාතාල ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සක්‍රීයව සම්බන්ධ වී සිටින චරිතයක් බව තහවුරු වී ඇත.

ඇයගේ පවුල් පසුබිම  විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඇයගේ සැමියා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බවයි.


පසුගිය වසරේදී පාතාල මර්දන විශේෂ පොලිස් කණ්ඩායමේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පිස්තෝලයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම කාන්තාවගේ පවුලේ අපරාධ පසුබිම තවදුරටත් තහවුරු කරමින්, ඇයගේ සහෝදරයෙකු පසුගිය වසරේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

විමර්ශනවලින් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ මෙම කාන්තාව 2024 ජනවාරි 24 වැනි දින තම නිවසෙන් පිටව ගොස් ඇත්තේ විදේශගත වීමට යන බව පවසමින් බවයි. ඇය තම අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා සමඟ නිවසෙන් පිටව ගොස් ඇති අතර, එතැන් සිට දෙදෙනාම නිවසට පැමිණ නොමැත.

ඇයගේ මව තම දියණිය අවසන් වරට දැක ඇත්තේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සීසීටීවී කැමරා දර්ශනවල සටහන්ව ඇති, නීතිඥවරියක ලෙස වෙස්ගත්ව සිටි අවස්ථාවේදීය. ඉෂාරා අතුරුදන්වීමෙන් පසු අල්ලාගත් ඇයගේ මව අත්අඩංගුවේ  සිටියදී වැලිකඩ බන්ධනාගාරයේදී මියගොස් තිබුණි.