නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිව තිබේ. පොලීසිය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දීර්ඝ රැඳවුම් නියෝගය ලබා දී ඇත.
මේ අතර, ඉෂාරා සෙව්වන්දි විසින් භාවිත කරන ලද ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ. ඇයගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් වූ තොරතුරු මත අදාළ දුරකතනය මෙසේ සොයා ගැනීමට හැකිවී ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය අද දිනයේදීත් ඉෂාරා සේව්වන්දිව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉන් පිටතට රැගෙන ගොස් තිබිණි.
ඝාතනයෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දිට නවාතැන් ලබාදුන් වැලිපැන්නේ පිහිටි නිවසේ හිමිකාරියගෙන් කොළඹ අපරාධ විමර්ශන නිලධාරීන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. පනස් දෙහැවිරිදි (52) වියේ පසුවන එම කාන්තාව මතුගම රෝහලේ උපස්ථායිකාවක ලෙස සේවය කළ තැනැත්තියකි. තමන් "මතුගම ශාන්" නැමැත්තා කලක සිට හඳුනන බවටද ඇය පොලිසිය හමුවේ පවසා තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනය සිදුවූ දිනයේ 'මතුගම ශාන්' විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව, අදාළ උපස්ථායිකාව යතුරුපැදියකින් අලුත්ගම ඩිපෝව අසලට ගොස් ඉෂාරා සෙව්වන්දිව සිය නිවසට රැගෙන විත් ඇත. පොලිසිය පවසන පරිදි, ඊට පසුදින උදෑසන නැවතත් ඇය විසින්ම ඉෂාරාව යතුරුපැදියක නංවාගෙන නිවසින් බැහැර කර තිබේ.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා, ඉෂාරාට නවාතැන් දුන් අදාළ 52 හැවිරිදි කාන්තාවගේ බෑණා බවද පොලිසිය තහවුරු කරගෙන ඇත. ඔහු පදිංචිව සිට ඇත්තේ ද ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි එම වැලිපැන්නේ නිවසේමය.
වගකිවයුතු පොලිස් නිලධාරියෙකු වුවද, ඉෂාරා සම්බන්ධ සියලු තොරතුරු දැන සිටියදීත් ඔහු ඒ පිළිබඳ කිසිදු ආරක්ෂක අංශයක් දැනුවත් කිරීමට පියවර ගෙන නොමැති බව හෙළිවී තිබේ. ඒ අනුව, අපරාධයෙන් පසු නවාතැන් පහසුකම් සැපයීම සහ තොරතුරු වසන් කිරීම යන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන "ගම්පහ බබා" නැමැත්තා, තමන් "කෙහෙල්බද්දර පද්මේ" නැමැත්තාව ඔහුගේ පියා හරහා හඳුනාගත් බව විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ. තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට ද සම්බන්ධ වී සිටි බව ඔහු පිළිගෙන ඇත. "ගම්පහ ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීමට උත්සහා කළ අවස්ථාවේදී වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය, පද්මේගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවටද මෙම සැකකරු හෙළි කර තිබේ.
"නුගේගොඩ බබී" නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අදාළව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස අසළ වළදමා තිබූ ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ 10ක් සොයාගත් බවද පොලිසිය පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval