applications-invited-for-sri-lankas-largest-auction-worth-over-rs-9-billion

 ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණයට අදාළ සංඛ්‍යාත වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අදාළ පැවරුම් දැන්වීම (Notice of Assignment) පසුගිය 03 වැනිදා නිකුත් කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව දැනුම්වත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, එම අමාත්‍යංශයේ වැඩබලන ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ධනපාල,

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත්, 5G වෙන්දේසි කමිටුවේ සභාපති සහ මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන යන මහත්වරුන් සහභාගී විය.

දැන්වීම නිකුත් කළ දිනයේ සිට රාජකාරී දින 50ක් ඇතුළත, එනම් දෙසැම්බර් 03 වැනිදා වන විට මෙම සම්පූර්ණ වෙන්දේසි ක්‍රියාවලිය අවසන් කිරීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉලක්කය වී තිබේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ 17(2) වගන්තිය යටතේ ඩිජිටල් ජංගම දුරකතන සන්නිවේදන සේවා සැපයීමට බලපත්‍ර හිමි ඕනෑම ආයතනයකට මේ සඳහා අයදුම් කළ හැකි අතර, කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇති අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය. දැනට මෙරට සේවා සපයන සමාගම් තුනෙන් දෙකක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව, අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලෙස නොවැම්බර් 10 වැනිදා නම් කර ඇති අතර,

ඉල්ලුම්කරුවන්ගේ නාම ලේඛනය නොවැම්බර් 12 වැනිදා ප්‍රසිද්ධ කිරීමට නියමිතය. අනතුරුව සුදුසුකම් ලබන ලංසුකරුවන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 21 වැනිදා සිදු කෙරෙනු ඇත.

මෙම වෙන්දේසිය යටතේ 3500MHz සහ 27GHz යන සංඛ්‍යාත පරාස කාණ්ඩ දෙකක් සඳහා ලංසු තැබීමට අවස්ථාව හිමි වේ. මින් 3500MHz සංඛ්‍යාත කලාපය 5G ජංගම දුරකතන සේවා සඳහා වෙන් කර ඇති අතර, 27GHz සංඛ්‍යාත කලාපය කාර්මික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. මෙම වෙන්දේසිය මගින් අවම වශයෙන් රුපියල් බිලියන 9ක ආදායමක් අපේක්ෂා කරන බවත්, එහි උපරිම වටිනාකම පිළිබඳ තක්සේරුවක් නොමැති වුවද මෙය මෙරට ඉතිහාසයේ සිදු වන දැවැන්තම වෙන්දේසිය වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. වෙන්දේසියෙන් උපයන සියලු මුදල් මහා භාණ්ඩාගාරයට බැර කිරීමට නියමිතය.

වෙන්දේසි ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා තම සභාපතිත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව 5G වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය. දෙසැම්බර් 03 වැනිදා පැවැත්වෙන ප්‍රධාන වෙන්දේසියට පෙර, ලංසුකරුවන්ට ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමේ අරමුණින් දෙසැම්බර් 02 වැනිදා ආදර්ශ වෙන්දේසියක් පැවැත්වීමට ද කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙවැනි වෙන්දේසියක් මෙරටදී ප්‍රථම වරට පැවැත්වෙන බැවින්, එහි සාර්ථකත්වය උදෙසා පසුගිය වසර කිහිපය පුරා ජාත්‍යන්තර අත්දැකීම් සහ දැනුම එක්රැස් කරගත් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.



ප්‍රධාන වෙන්දේසිය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වන "Clock Stage" සහ "Frequency Identification Stage" යන අදියර දෙකකින් සමන්විත වන බව අනාවරණය විය. වෙන්දේසිය ජයග්‍රහණය කරන සමාගම් සඳහා ගෙවීම් කිරීමට පහසු ක්‍රමවේද දෙකක් හඳුන්වා දී ඇත. පළමු ක්‍රමය යටතේ, දින 10ක් ඇතුළත සම්පූර්ණ මුදල එකවර ගෙවන්නේ නම් 10%ක වට්ටමක් හිමි වේ. දෙවැනි ක්‍රමය යටතේ, 10%ක මූලික ගෙවීමක් සිදු කර ඉතිරි මුදල වසර හතරක් පුරා පිළිවෙළින් 15%, 20%, 25% සහ 30%ක් ලෙස වාර්ෂික වාරික පහකින් ගෙවීමේ හැකියාව පවතී.

දැනටමත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල 5G තාක්ෂණය අත්හදා බලමින් සිටින සමාගම්වලට දෙසැම්බර් 03 වැනිදායින් පසු නිල වශයෙන් සිය සේවාවන් ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. 3500MHz සංඛ්‍යාත මිලදී ගන්නා සමාගම්, වසර පහක් ඇතුළත මෙරට මහ නගර සභා බල ප්‍රදේශවලින් 80%ක්, නගර සභා බල ප්‍රදේශවලින් 60%ක් සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලින් 30%ක් ආවරණය වන පරිදි සිය 5G ජාලය පුළුල් කළ යුතු බවට ද නියමයක් පනවා තිබේ.

5G තාක්ෂණයේ ආගමනය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ විශාල පරිවර්තනයකට මග පාදනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන මහතා ප්‍රකාශ කළේය. 5G තාක්ෂණය නගරවල ස්ථාපිත වීමත් සමග, ඉවත් කෙරෙන 4G තාක්ෂණික උපකරණ ග්‍රාමීය ප්‍රදේශ වෙත යොමු කර එම ප්‍රදේශවල 4G ආවරණය පුළුල් කිරීමට හැකි වනු ඇත. එමෙන්ම, මෙම ක්‍රියාවලිය හරහා නිදහස් වන ඇතැම් සංඛ්‍යාත, ඩිජිටල් රූපවාහිනී විකාශන සේවා සඳහා යොදා ගැනීමට ද හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.