මෙල්බර්න් නුවර විහාරස්ථානයකදී දැරියන් හය දෙනෙකුට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කවුන්ටි උසාවියේ පැවැත්වෙන නඩු විභාගයේදී උන්වහන්සේ තමන් නිවැරදිකරු බවට ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත මෙම නඩු විභාගයේ ඊළඟ දිනයේදී එම කාන්තාවන් සාක්ෂි දීමට නියමිත අතර, විනිසුරු පර්දීප් තිවානා මහතා ඉදිරියේ නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.
වර්තමානයේ වයස 30 ගණන්වල පසුවන පැමිණිලිකාරියන් චෝදනා කරන්නේ 1994 සහ 2002 අතර කාලය තුළ මෙල්බර්න් නුවර ගිනිකොනදිග පිහිටි ධම්ම සරණ විහාරස්ථානයට දහම් පාසල් අධ්‍යාපනය සඳහා තමන් පැමිණි අවස්ථාවලදී නාඔටුන්නේ විජිත හිමියන් විසින් තමන්ව අපචාරයන්ට ඉලක්ක කරගත් බවයි.
එම විහාරස්ථානයේ විහාරාධිපතිව සිටි විජිත හිමියන්ට එරෙහිව ළමා ලිංගික චෝදනා 9 ක් සහ වයස අවුරුදු 16 ට අඩු ළමයෙකු සමඟ අශෝභන ක්‍රියා සිදු කිරීමේ චෝදනා 10 ක් යටතේ නඩු පවරා ඇත. නීතිමය හේතූන් මත අනන්‍යතාවය හෙළි කළ නොහැකි මෙම පැමිණිලිකාරියන්, චෝදනාවට පාදක වූ සිදුවීම් වන විට වයස අවුරුදු 16 ට අඩු අයව සිට ඇත.
රජයේ නීතිඥ ෆියෝනා මාටින් මහත්මිය ජූරි සභාවට දන්වා සිටියේ මෙම චෝදනා එල්ල වන සිදුවීම්, විහාරස්ථානය ස්ප්‍රින්ග්වේල් හි මුලින්ම පවත්වාගෙන ගිය ස්ථානයේදී සහ පසුව කීස්බරෝ හි ඉදිකළ නව ස්ථානයේදී සිදුවී ඇති බවයි.
නීතිඥවරිය තවදුරටත් කියා සිටියේ මෙම භික්ෂුව දැරියන්ව සිය වාසස්ථානය (කුටිය) වෙත පොළඹවාගෙන ගොස් ලිංගික අපයෝජනයන්ට ලක් කර ඇති බවයි.
සමහර පැමිණිලිකාරියන් පවසා ඇත්තේ භික්ෂුව විසින් තම ඇඟිලි ඇතුල් කිරීම් සිදු කළ බවත්, තවත් අය පවසා ඇත්තේ උන්වහන්සේ තමන්ව අනිසි ලෙස ස්පර්ශ කළ බව හෝ ඔවුන්ගේ අත උන්වහන්සේගේ ලිංගය මත තැබූ බවත්ය. එක් පැමිණිලිකාරියක් චෝදනා කර ඇත්තේ භික්ෂුව "සමාව අයැද, කිසිවෙකුට නොකියන ලෙස" තමාට පැවසූ බවයි. තවත් පැමිණිලිකාරියක් භික්ෂුවගේ කුටියට ගොස් ඇත්තේ "එහි රසකැවිලි තිබිය හැකි" බවට සිතා බවත්, එහිදී අතවරයට ලක්වූ බවත් රජයේ නීතිඥවරිය පැවසුවාය.
නීතිඥ මාටින් මහත්මිය ජූරි සභාවට පැවසුවේ එක් කාන්තාවක් 2005 වසරේදී විජිත හිමියන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර, පසුව එය ඉල්ලා අස්කර ගෙන ඇති බවයි. නමුත් 2022 දී සිදුකළ නව පරීක්ෂණයකදී ඇය නැවත විධිමත් ප්‍රකාශයක් ලබා දී ඇත. 2021 වසරේ 'Crime Stoppers' වෙත ලැබුණු තොරතුරක් මත මෙම භික්ෂුව පිළිබඳ මෑතකාලීන පරීක්ෂණ ආරම්භ වී තිබේ. 2023 අගෝස්තු මාසය වන විට කාන්තාවන් හය දෙනෙකු පොලිසිය හා සම්බන්ධ වී ඇති බව අධිකරණයට දන්වන ලදී.
කෙසේ වෙතත් විජිත හිමියන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, උන්වහන්සේගේ නීතිඥ නිකොලස් පපාස් කේසී මහතා ප්‍රකාශ කළේ මෙම නඩුවේ "මැද මාවතක්" නොමැති බවයි. ඔහු මෙම චෝදනා "නොවිය හැකි" (improbable) ඒවා ලෙස හඳුන්වමින්, ජූරි සභාවෙන් ඉල්ලා සිටියේ භික්ෂුව සාධාරණ සැකයකින් තොරව වැරදිකරුද යන්න තීරණය කිරීමේදී විහාරස්ථාන ගොඩනැගිලිවල සැලැස්ම වැනි කරුණුද සලකා බලන ලෙසයි.
"වසර 25 කට හෝ 30 කට පෙර සිදු වූ දේ පිළිබඳව සාක්ෂිකරුවන්ට මතක ඇති දේ සහ එම සාක්ෂි කෙතරම් නිවැරදිද, විශ්වාසදායකද යන්න මෙහිදී මූලික ප්‍රශ්නයක්," යැයි ඔහු සඳහන් කළේය. පපාස් මහතා පැවසුවේ තම සේවාදායකයා බරපතල චෝදනාවලට මුහුණ දී සිටින බවත්, විජිත හිමියන්ට චෝදනා කරන්නන්ගෙන් "දුෂ්කර ප්‍රශ්න" ඇසීමට විත්තිය කටයුතු කරන බවත්ය.
ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පිහිටුවන ලද මෙම විහාරස්ථානයේ ප්‍රධානත්වය දැරීම සඳහා විජිත හිමියන් 1994 දී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත. දහම් පාසල් පැවැත්වීමද උන්වහන්සේගේ කාර්යභාරයට අයත් වී තිබේ. දැනට 70 වන වියේ පසුවන උන්වහන්සේ, තැඹිලි පැහැති චීවරයකින් සැරසී, අධිකරණයේ විත්ති කූඩුවේ සිට සිංහල පරිවර්තකයෙකුගේ සහාය ඇතිව නඩු කටයුතුවලට සවන් දුන්හ.
ලබන සතියේ සාක්ෂිකාරියන්ගේ ප්‍රකාශ සමග මෙම නඩුව තවදුරටත් මාධ්‍ය අවධානයට යොමු වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval