a-prayer-at-the-natha-devalaya-to-correct-the-pension-discrepancy

 2020 වසරේ සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයින්ට 2025 අයවැය හරහා නිර්මාණය වී ඇති විශාල විශ්‍රාම වැටුප් විෂමතාව නිවැරදි කරන ලෙස රජයට බල කරමින්, විශ්‍රාමික රාජ්‍ය සේවක එකමුතුව විසින් පසුගිය 08 වන දින මහනුවර ශ්‍රී නාථ දේවාලයේදී දේව කන්නලව්වක් සංවිධානය කර තිබිණි.



මෙම විරෝධතාව සඳහා එක්වූ විශ්‍රාමිකයින් පළමුව ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව,

ඓතිහාසික නාථ දේවාලය වෙත පැමිණ සිය ඉල්ලීම මුල් කරගනිමින් දේව කන්නලව්වක් සිදුකරන ලදී. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශ්‍රාමික නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා, මෙම නව විශ්‍රාම වැටුප් විෂමතාව හේතුවෙන් විශ්‍රාමිකයින් අතර රුපියල් 20,000 සිට රුපියල් 80,000 දක්වා වූ අසාධාරණ පරතරයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්නේය.

රට දැඩි ආර්ථික පීඩනයකින් සහ ඉහළ උද්ධමනයකින් බැටකෑ 2020-2024 දුෂ්කර කාලසීමාවේ සේවය කර විශ්‍රාම ගිය තමන්ට කිසිදු වැටුප් වර්ධකයක් නොලැබුණු බවත්, 2025 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් 80%කින් පමණ ඉහළ නැංවීමත් සමඟ 2025 ජනවාරි 01 දායින් පසු විශ්‍රාම යන සේවකයින්ට ඉතා ඉහළ විශ්‍රාම වැටුපක් හිමිවන බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය මත එක් දිනක වෙනසක් හේතුවෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමේ විශ්‍රාම වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බවත්, එමගින් එක්ලක්ෂ පනස් දහසකට අධික විශ්‍රාමිකයින් පිරිසක් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවත් විශ්‍රාමික රාජ්‍ය සේවක එකමුතුව අවධාරණය කරයි.



gossiplanka image 1