a-father-who-abused-his-two-daughters-for-many-years

ඌව පරණගම, අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබළෙකු, සිය දියණියන් දෙදෙනාට වසර ගණනාවක් තිස්සේ ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපයෝජනයට ලක්ව ඇත්තේ වර්තමානයේ වයස අවුරුදු 23 සහ 29 යන වයස්වල පසුවන ඔහුගේම දියණියන් දෙදෙනාය.



පියාගෙන් සිදුවන මෙම අතවර තවදුරටත් දරාගත නොහැකි වූ දියණියන් දෙදෙනා විසින්ම අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් අබේසේකර මහතා වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර මාතලේ, කයිකාවල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පවුල 2019 වසරේදී අඹගස්දෝව ප්‍රදේශයට පැමිණ තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, 23 හැවිරිදි බාල දියණිය 2015 වසරේදී, එනම් ඇය මල්වර වී සති කිහිපයකට පසු, සැකකාර පියාගේ දූෂණයට පළමුවරට ලක්ව ඇති බවයි. තම දියණියන් විවාහ වුවද ඔවුන් තමා සමඟ අඹුසැමියන් ලෙස සිටිය යුතු බවට සැකකරු තර්ජනය කර ඇති අතර, වැඩිමහල් දියණියට පැමිණි විවාහ යෝජනාවක්ද ඔහු විසින් බිඳ දමා ඇති බවට තරුණියන් පොලීසියට පෙන්වාදී තිබේ.

මෙම අපරාධ පිළිබඳව බිරිඳට හෝ පවුලේ අයට හෙළි කළහොත් වෙඩි තබා මරා දමන බවට බිය ගන්වා සැකකරු මෙම අපරාධය සිදුකරගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සමාජය තුළ සිල්වත් පුද්ගලයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු නිවස තුළ මෙම අපරාධ සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

අපයෝජනයට ලක්වූ දියණියන් විසින් තම පියා සිදුකරන ලිංගික අපරාධ වීඩියෝගත කර, එම දර්ශන පරීක්ෂණ කටයුතු සඳහා පොලීසිය වෙත භාරදී තිබේ. අදාළ තරුණියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර ඇති අතර, අඹගස්දෝව පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.