
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බව
පොලීසිය නිවේදනය කරයි. බෙලිඅත්තේ සනා හෙවත් පුවක්දණ්ඩාවේ සනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
තමන් කිසිදු දිනක වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා යන අය දැක නොමැති බවත්, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන නොමැති බවත් විමල් වීරවංශ මහතා සිය ප්‍රකාශය මගින් පවසා ඇත. එමෙන්ම, සැකකරු මත්ද්‍රව්‍ය රැගෙන ආ බෝට්ටුවේ හිමිකරු බවට තමන් ප්‍රකාශ කළේ එකල මාධ්‍ය වාර්තා පදනම් කරගෙන බවද ඔහු සඳහන් කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ වැටලීම් රාජ්‍ය අනුග්‍රහය මත සිදුවන බවට තමන් කළ ප්‍රකාශය මෙම විශේෂිත සිදුවීම ඉලක්ක කර නොගත්, රටේ පවතින පොදු තත්ත්වය පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් බව වීරවංශ මහතා විමර්ශන නිලධාරීන් හමුවේ පෙන්වා දී ඇත. තවද, පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ සංචාරයකදී සැකකරුගේ නිවසට ගොස් ආහාර ගත් බවට තමන් ප්‍රකාශ නොකළ බවත්, තමන් දැනගත් පරිදි ජනාධිපතිවරයා ප්‍රදේශයේ හෝටලයකින් ආහාර ගෙන ඇති බවත් ඔහු පවසා තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට සිදුවූ ප්‍රමාදය රාජ්‍ය අනුග්‍රහය මත සිදුවූවක් විය හැකි බවට තමන් තුළ පැවති විශ්වාසය මත එම ප්‍රකාශය සිදුකළ බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, 2025 ඔක්තෝබර් 02 වන දින පැවති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඔක්තෝබර් 09 වන දින ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී ඔහු විසින් ඉදිරිපත් කර නොමැති බව පොලිස් නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අසත්‍ය බව දැන දැනම හෝ අසත්‍ය බවට විශ්වාස කරමින් තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි නීතිමය පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කරයි. මෙම සිදුවීම පිළිබඳව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval