prime-minister-speaks-about-the-importance-of-childrens-literature

 දරුවන්ගේ චින්තන රටාව හැඩගැස්වීමේලා ළමා සාහිත්‍යයට ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ හැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

කුඩා අවධියේදී දරුවන්ගේ මනසට ඇතුළත් වන වචන, සිතුවිලි සහ කතාන්දර ඔවුන්ගේ අනාගතය තීරණය කිරීම සඳහා සෘජුවම බලපාන බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ඇය මෙම අදහස් පළ කළේ, අදාළ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව විසින් සම්පාදිත "Fiction Wonderland : A Comprehensive Guide to Creating Children's Fiction Books" නමැති උපදේශන කෘතිය පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දරුවන්ට කියවීමේ රසය ලබා දීමත් සමගම නිරෝගී මෙන්ම සංවේදී මනසක් ගොඩනගා දීම අරමුණ විය යුතු බවයි. එබැවින් ළමා සාහිත්‍යකරුවන් සිය නිර්මාණ සඳහා සරල වචන පමණක් යොදා නොගෙන, දරුවාගේ මනස දීප්තිමත් කරන වටිනාකම් සහ විචාරාත්මක අදහස් ද ඇතුළත් කළ යුතු බව ඇයගේ අදහස විය. මෙවැනි කාලෝචිත කෘති එළිදැක්වීම මගින් අනාගතයේදී ළමා සාහිත්‍යයට පිවිසෙන ලේඛකයින්ට උසස් නිර්මාණ බිහිකිරීම සඳහා මනා මගපෙන්වීමක් ලැබෙන බවත්, කුඩා කල සිටම දරුවන් කියවීමට යොමු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් ඇය සඳහන් කළාය.

ඉංග්‍රීසි භාෂාවෙන් එළිදක්වා ඇති මෙම මාර්ගෝපදේශන සංග්‍රහය, ඉදිරියේදී සිංහල සහ දමිළ භාෂාවලින් ද ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මෙම වැඩසටහන සඳහා ඒකාබද්ධව දායකත්වය සපයන අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4