7000-of-10000-gold-ornaments-found-during-the-war-in-the-north-have-been-handed-over-cid-says

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම අතරතුර යුද හමුදාව විසින් සොයාගනු ලැබූ රන් ආයිත්තම් දස දහසකින්, හත් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු සඳහන් කළේ, අදාළ රන් ආයිත්තම් දස දහසම කිරා මැන බලා ඒවායේ රන් ප්‍රමාණය සහ බර පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කලින් ලබාදුන් නියෝගයකට අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමිනි.

යුද සමයේදී කොටි සංවිධානයේ කඳවුරු සහ ඔවුන් පවත්වාගෙන ගිය නීති විරෝධී බැංකු වැනි ස්ථානවල තිබී මෙම රන් භාණ්ඩ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සොයාගෙන තිබුණි.

මෙම රන් භාණ්ඩ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි. අධිකරණ නියෝග මත එම රන් භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කෙරිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, මහ බැංකුවට භාරදුන් එම රන් භාණ්ඩ සුරක්ෂිතව එහි සේප්පුවල තැන්පත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර සිද්ධියේ වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නේය.