13-students-hospitalized-after-being-poisoned-by-sandwiches-eaten-at-school

 ගොඩකවෙල නගරයේ ප්‍රධාන පාසලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දහතුන් දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් පෙරේදා (15) රෝහල් ගත කර ඇති බව දෙමාපියෝ පවසති.



පාසලේ පැවති විෂය නිර්දේශයට අදාළ ක්‍රියාකාරකමක් අතරතුරදී සිසුන් විසින් සකස් කරන ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් අනතුරුව මෙම දරුවන්ට ආසාත්මිකතා සහ සංකූලතා තත්ත්වයන් හටගෙන තිබේ. පසුව, රෝගී වූ දරුවන් 'සුවසැරිය' ගිලන් රථ සහ වෙනත් වාහන යොදා ගනිමින් වහාම ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.




මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසූ විට පාසලේ විදුහල්පති ජිනාල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, එක් සිසුවෙකු විසින් නිවසින් රැගෙන ආ ආහාරයක් සෙසු සිසුන් කණ්ඩායමක් විසින් අනුභව කිරීමෙන් පසු ඇතිවූ උදර ආබාධයක් හේතුවෙන් ගුරුවරුන් විසින් ඔවුන් රෝහල් ගත කළ බවයි.

එම ආහාර පාසල් ආපනශාලාවෙන් ලබා ගත්තක් නොවන බව අවධාරණය කළ විදුහල්පතිවරයා, තමන් පෙරේදා දිනයේ වෙනත් වැඩසටහනකට සහභාගී වී සිටි බැවින් රෝහල් ගත කළ නිශ්චිත සිසුන් සංඛ්‍යාව නොදන්නා බවද සඳහන් කළේය.

ගොඩකවෙල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සංකූලතා හේතුවෙන් රෝහලට ඇතුළත් කළ දරුවන් දහතුන් දෙනාම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු පෙරේදා (15) දිනයේම සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි.