former-engineering-corporation-boss-who-repaired-sirikotha-with-government-money-is-ill

 එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් සහ දේපළ යොදා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 16කට අධික පාඩුවක් සිදුකළ බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගත් එම සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (16) නියෝග කළේය.






සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හෝ ඉදිරි විමර්ශන කටයුතුවලට කිසිදු බලපෑමක් නොකරන ලෙසටද ඔහුට දැඩිව අවවාද කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දන්වා සිටියේ, 2019 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ඉල්ලීමකට අනුව, සැකකරු නිසි ක්‍රමවේද අනුගමනය නොකර සිරිකොත ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවය. එමගින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මූල්‍ය අලාභයක් සහ එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් සිදුවී ඇති බවද කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීහු පැවසූහ.

2021 වසරේදී ආරම්භ කරන ලද මෙම විමර්ශන මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බවත්, ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ පී. ජයතිලක නමැත්තා, අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී ඇස්තමේන්තුවක් ලබාගෙන අලුත්වැඩියාව සිදුකර ඇතත්,


ඒ සඳහා අය කරගත යුතු රුපියල් දහසය ලක්ෂ හැටහත් දහසකට අධික මුදල අය කර නොගැනීමෙන් මෙම පාඩුව සිදුවී ඇති බවත් අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය. හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, මෙම වරද ඇප දිය නොහැකි වරදක් බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සනත් කරුණාරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, තම සේවාදායකයා මෙම කාර්යය ඉටුකර ඇත්තේ එවකට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පී. ජයතිලක මහතාගේ නියෝගයක් මත බවයි. එම නිසා, අලුත්වැඩියාව සඳහා අවශ්‍ය ගෙවීම් ලබා ගැනීමේ වගකීම පැවතියේ තම සේවාදායකයාට නොව හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට බවද ඒ මහතා තර්ක කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සිදුකර එහි ප්‍රගතිය ලබන දෙසැම්බර් මස 9 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.