තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දීමට තංගල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබේ. මරණවලට හේතුව වස ශරීරගත වීමක් විය හැකි බවට ඇති වූ සැකය මත මියගිය අයගේ රුධිර සහ ශරීර පටක සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා
රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. මියගිය වෙනුර කුමාරගේ බිරියද වසක් දෙන්නට ඇතැයි පවසා ඇත. වාර්තාව ලැබීමෙන් අනතුරුව මරණවලට නිශ්චිත හේතුව අධිකරණයට දන්වන බව අධිකරණ වෛද්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.මෙම සිදුවීමේ මූලාරම්භය සනිටුහන් වූයේ තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් පැවති පැරණි නිවසකින් මළ සිරුරු දෙකක් හමුවීමත් සමඟය. ඔවුන් සමඟ සිටි බව කියන දෙදරු පියෙකු, විතාරන්දෙනිය, තලපිටියගම පිහිටි සිය නිවසට ගිය පසු ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.
සිද්ධිය වූ නිවසට පැමිණි තංගල්ල මහෙස්ත්‍රාත් ශාමලා බුතාවත්ත මහත්මිය මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා, පශ්චාත් මරණ පරීක්ෂණයක් මගින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, උණාකූරුව, ලක්ෂ්මිවත්ත ලිපිනයේ පදිංචිව සිටි 50 හැවිරිදි සුවඳ හැන්නදිගේ තුසිත වෙනුර කුමාර නමැති දෙදරු පියෙක් සහ අම්බලන්තොට, ලූණම ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඩබ්ලිව්. කවිදු කල්හාර සහ දිනුක ලක්ෂාන් හේවාවිතාරණ නමැති අවිවාහක තරුණයන් දෙදෙනෙකි. විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන එස්.එච්. ප්‍රමුදිත්, ආර්.කේ.එස්. චන්දිම සහ ෂමිලා උභයරත්න යන මහත්ම මහත්මීහු සහාය වූහ.
පෙරේදා (23) පස්වරු 1.30ට පමණ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම රෝහල්ගතව මියගිය දෙදරු පියාගේ පුතුන් ලබාදුන් සාක්ෂි මත පදනම්ව අධිකරණ වෛද්‍ය කණ්ඩායම දෙවන වරටත් සීනිමෝදර නිවස පරීක්ෂාවට ලක් කළේය. තංගල්ල පොලිසියේ නිලධාරීන් විසින් මියගිය තුසිත වෙනුර කුමාර මහතාගේ බිරිඳගෙන් සහ අනෙක් තරුණයන් දෙදෙනාගේ දෙමාපියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව එදින පස්වරු පහට පමණ මෘත දේහයන් ඥාතීන් වෙත භාරදීම සිදුකෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මේ වනවිට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථ දෙකක හිමිකරුවන්, එක් රියදුරෙකු සහ මියගිය දෙදරු පියාගේ 25 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු වන වැඩිමල් පුත්‍රයා ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව වාර්තා වේ. සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සහ මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමික වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් මත තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval