update-an-investigation-into-the-cable-car-crash-incident

 කුරුණෑගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා ගමන් ගත් කේබල් රථයක් පීලි පැන කඩා වැටීමෙන් විදේශික හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත් වී තවත් හය නමක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම අනතුර බදාදා (24) රාත්‍රී 9.00ට පමණ සිදුවී ඇති අතර, ඒ වන විට භික්ෂූන් වහන්සේලා 13 නමක් එහි ගමන් කරමින් සිට ඇත.



කඳු මුදුනේ පිහිටි භාවනා කුටි කරා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

"කැලෑ පැත්තෙන් එකපාරටම ලොකු සද්දයක් ඇහුණා. ටික වෙලාවකින් ආරාමයෙන් හදිසි අවස්ථාවක් දැනුම් දෙන සංඥාවක් නිකුත් කළා. ඊට පස්සෙයි අපි හැමෝම සිද්ධිය වූ ස්ථානයට ගියේ," යනුවෙන් ප්‍රදේශවාසියෙක් සිද්ධිය විස්තර කළේය.

මෙම අනපේක්ෂිත අනතුරින් මල්වානේගම සමිද්ධි හිමි (47), නාවලපිටියේ උත්තරානන්ද හිමි (27), නුගේගොඩ විපස්සී හිමි (37), ඉන්දියානු ජාතික ධම්මගවේසී හිමි (31), උඩවලවේ සන්තසුමන හිමි (59), රුමේනියානු ජාතික ධම්මරංසි හිමි (48) සහ රුසියානු ජාතික ධම්මරක්ඛිත හිමි (48) යන හිමිවරු අපවත් වූහ.



තුවාල ලැබූ අනිවත්තේ සරණංකර හිමි (34), ගල්නෑවේ පඤ්ඤාදීප හිමි (36), රාජගිරියේ ලෝකහිත හිමි (39), පොකුණුවිට පවරසමාහිත හිමි (26), උණපානේ චන්දසිරි හිමි (35) සහ පන්නිපිටියේ ඉන්දෝභාස හිමි යන භික්ෂූන් වහන්සේලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, උන්වහන්සේලාගෙන් කිහිප නමකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පන්සියගම පොලිසිය විසින් මහව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් කංචනී නර්තනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පොලිසියට නියෝග කර තිබේ. මෙම විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහය ලබා ගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා, එම වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව දේහයන් භාරකරුවන් වෙත නිදහස් කිරීමට ද අවසර ලබා දී තිබේ.

කේබල් රථය කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කර ඇති අතර, නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පන්සියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.