මිහින්තලේ අභය භූමියේ මුවන් දඩයම් කර, මුව මස් කිලෝග්‍රෑම් 63ක් සහ නීති විරෝධී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මහත්මිය නියෝග කළාය.
සැප්තැම්බර් 15 වන දා මෙම නියෝගය ලබා දුන්නේ, තිරප්පනේ පොලීසිය විසින් සැකකරුවන්ට එරෙහිව ආරක්ෂිත සතෙකුගේ මස් ප්‍රවාහනය කිරීම සහ බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු පැවරීමෙන් අනතුරුවය. අඹකොටේ පදිංචි මොහොමදු මුසාර් මොහොමඩ් රිසාන් සහ ඉබ්බාගමුව පදිංචි මුතාප් මොහොමඩ් නසීර් යන අය මෙලෙස ඇප මත මුදා හැරිණි.
ලද බුද්ධි තොරතුරක් මත, තිරප්පනේ පොලීසිය විසින් ඒ-9 ප්‍රධාන මාර්ගයේ කුංචිකුලම ප්‍රදේශයේ පිහිටවූ මාර්ග බාධකයකදී සැකකරුවන් ගමන් ගත් ලොරි රථය පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ලොරි රථයේ චැසිය තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවිය සහ මුව මස් තොගය සොයාගත් බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම මස් තොගය කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයකට විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ බවත්, සැකකරුවන් කලක පටන් මෙම නීති විරෝධී දඩයම් ජාවාරමේ නිරත වී ඇති බවටත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැන්වීය.
Comments
Post a Comment
Your comment will be visible after approval