පහළ බියගම ප්‍රදේශයේ වෙසෙන ජනප්‍රිය රංගන ශිල්පිනියකට අයත්, රුපියල් ලක්ෂ දෙකක් වටිනා 'ගෝල්ඩන් රිට්‍රීවර්' වර්ගයේ සුනඛයෙකු සොරකම් කළ ත්‍රිරෝද රථ රියදුරෙකු බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
පසුගිය 20 වන දා උදෑසන සුනඛයා නිවසේ නොසිටීම හේතුවෙන් නිවැසියන් විසින් ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ. එහිදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු නිවසේ වත්තට ඇතුළු වී සුනඛයා රැගෙන යන අයුරු සටහන්ව තිබූ අතර, ඒ අනුව ශිල්පිනිය විසින් බියගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව තිබූ ත්‍රිරෝද රථයේ අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂා කර එහි හිමිකරුගේ ලිපිනය සොයාගෙන ඇත.
ඒ ඔස්සේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වැටලූ පොලිස් නිලධාරීන්ට සොරකම් කරන ලද සුනඛයා සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
අනතුරුව සැකකරු ඊයේ (21) අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්න මහතා විසින් සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී. සොරකම් කරන ලද සුනඛයා රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත නිත්‍ය හිමිකාරිය වන රංගන ශිල්පිනිය වෙත මුදා හැරීමටද නියෝග කෙරුණු අතර, නඩුව ඔක්තෝබර් මස 07 වන දා යළි කැඳවීමට දින නියම විය.
Comments
Post a Comment
Your comment will be visible after approval