
තඹුත්තේගම, අධිරාණිගම ගම්මානයේදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, කරෙයිනගර් හි සේවය කරමින් සිට නිවාඩුවක් සඳහා සිය නිවසට පැමිණි, 38 හැවිරිදි දෙදරු පියෙකු වන බී.ඒ.පී. රෝහණ පුෂ්පකුමාර මහතාය. පසුගිය 16 වන දා නිවාඩු ලබා නිවසට පැමිණි ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ 19 වන දා රාත්‍රියේදීය.
නිවස ආසන්නයේ පිහිටි කමතක අසල්වැසි තරුණයන් දෙදෙනෙකු සමඟ රැඳී සිටින අතරතුර රාත්‍රී 7.45 ත් 8.00 ත් අතර කාලයේදී යාබද ඔරුගල්යාය රක්ෂිතයේ සිට පැමිණි වන අලියෙකුගේ හදිසි පහරදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත. මෙම ඛේදවාචකය සිදුවන විට, ගම්මානය වන අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඉදිකරන ලද අලි වැට සම්පූර්ණයෙන්ම අක්‍රීයව පැවතීම ගැටලුවේ බරපතළකම තවදුරටත් ඉස්මතු කරයි.
අධිරාණිගම ගම්වාසීන් පෙන්වා දෙන්නේ, ඔරුගල්යාය රක්ෂිතයෙන් ගමට වන අලි ඇතුළුවීම වැළැක්වීම සඳහා වසර ගණනාවකට පෙර රුපියල් මිලියන ගණනක් වැයකරමින් ඉදිකරන ලද මෙම අලි වැට මේ වන විට කිසිදු ප්‍රයෝජනයකට නොමැති තත්ත්වයට පත්ව ඇති බවයි. ඇතැම් ස්ථානවල වානේ කණු පවා අලි ඇතුන් විසින් බිම හෙළා ඇති අයුරු දැකගත හැකි බව ඔවුහු පවසති. ගම්වාසීන්ගේ විරෝධතා නොසලකා ගම දෙකඩ වන ආකාරයට මෙම වැට ඉදිකළ බවටද ඔවුහු චෝදනා කරති.
අක්‍රීය වූ අලි වැටෙහි ප්‍රතිඵලයක් ලෙස, දිනපතාම පාහේ ගම්මානයට කඩාවදින වන අලි, වගාවන්, නිවාස සහ අනෙකුත් දේපළ විනාශ කරන බව ගම්වැසියෝ පවසති. මෙම තත්ත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ සහ අලුයම නිවසින් බැහැරට යාම පවා දැඩි අවදානම් සහගත වී ඇති අතර, මීට පෙරද අලි පහරදීම්වලින් ගවයින් කිහිපදෙනෙකු මියගොස් තිබිණි. අලි වැට ආසන්නයේ හේන් වගා කරන ගොවීන්ට සිය අස්වැන්න රැකගැනීම සඳහා රාත්‍රිය පහන් වන තුරු පැල් රකින්නට සිදුව ඇත. එබැවින් තවත් මිනිස් ජීවිතයක් හෝ දේපළ හානියක් සිදුවීමට පෙර මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval