වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන රැඳවියන් සංඛ්යාව සීමා කිරීමේ අරමුණින්, දියවැඩියා රෝගී රැඳවියන්ට ප්රතිකාර ලබාදීමේ ක්රමවේදය වෙනස් කිරීමට වෛද්ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.
මෙතෙක් පැවති ක්රියාපටිපාටිය වූයේ දියවැඩියාව සඳහා ඉන්සියුලින් එන්නත් ලබාගන්නා රැඳවියන්, වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්රතිකාර ලබා දීමයි. මෙම ක්රමය යටතේ රැඳවියන්ට දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණු අතර, මේ වන විටත් එවැනි රැඳවියන් 24 දෙනෙකු එහි නේවාසිකව ප්රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
නව තීරණයට අනුව, ඉන්සියුලින් එන්නත අවශ්ය රැඳවියන් රෝහල්ගත කිරීම වෙනුවට, ඔවුන් රඳවා සිටින අදාළ බන්ධනාගාරය වෙතම ගොස් එම එන්නත ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙම නව ක්රමවේදයේ නියමු ව්යාපෘතියක් ලෙස, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියන් අට දෙනෙකුට එම බන්ධනාගාරය තුළදීම ඉන්සියුලින් එන්නත් ලබා දීමේ වැඩසටහනක් වැලිකඩ බන්ධනාගාර රෝහල මගින් දැනටමත් ආරම්භ කර ඇත.
ඉදිරියේදී කොළඹ පිහිටි අනෙකුත් බන්ධනාගාර සඳහා ද මෙම ක්රමය ව්යාප්ත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.