"හරක් කටා" ලෙස පොදුවේ හඳුන්වනු ලබන නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න මහතා, තමන්ගෙන් අල්ලස් ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීමේ අරමුණින් සිය පුත්‍රයාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටින බවට ඔහු සැක කරන බව පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යොමු කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ අල්ලස් ඉල්ලීම්වලට සම්බන්ධ බව කියන පොලිසියේ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) යටතේම තම පුත්‍රයා රඳවා සිටින බැවින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත එම තොරතුරු හෙළි කිරීමට ඔහුට නොහැකි වී ඇති බවයි. එසේ කළහොත්, රැඳවුම් භාරයේදී තමාට දැනට ලැබෙන අවම පහසුකම් පවා අහිමි කරනු ඇතැයි නදුන් චින්තක බියෙන් පසුවන බවද එම ලිපියේ දැක්වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යෙදවිය යුත්තේ අතිශය අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් බවට පොලිස්පතිවරයා උපදෙස් නිකුත් කර තිබියදීත්, සිය පුත්‍රයාව 2023 වසරේ මාර්තු මාසයේදී එම පනත යටතේ අත්අඩංගුවට ගත් දින පටන් අද දක්වාම පරිපාලනමය රැඳවුම් භාරයේ තබාගෙන සිටින බව නෙල්සන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.
මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේද, 2024 සහ 2025 වසරවලදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිරන්තරයෙන් භාවිතා කර ඇති බවට සඳහන් වන බවද ඔහු සිය ලිපිය මගින් අවධානයට ලක් කර ඇත.
රැඳවියන්ට තම ඥාතීන් සමග කතා කිරීමේ අයිතිය ඇති බවට රජය ප්‍රකාශ කර තිබුණද, මාස 30කට අධික තම රැඳවුම් කාලය තුළ සිය බිරිඳට හෝ කුඩා දරුවාට කතා කිරීමට නදුන් චින්තකට අවස්ථාව ලබා දී නොමැති බවද ඔහුගේ පියා කියා සිටී.
තවද, රක්ෂිත බන්ධනාගාරගත කළ හෝ රඳවා තබාගත් පුද්ගලයන් හමුවීමට නීතිඥවරුන්ට අයිතියක් ඇති බවට රජය සඳහන් කළද, නදුන් චින්තක හට සිය නීතිඥවරයා හමුවීමේ අවස්ථාව දැඩි ලෙස සීමා කර ඇත. කිසිදු නීතිමය පදනමකින් තොරව නීති උපදෙස් ලබා ගැනීම මිනිත්තු තිහකට සීමා කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහුට අත් විලංගු දමා තිබීමද සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැර වූවක් බව රැඳවුම් භාරයේ සිටින සේවාදායකයින් බැලීමට අවස්ථා ගණනාවකදීම ගොස් ඇති ඔහුගේ නීතිඥවරයා නිරීක්ෂණය කර තිබේ. මෙම කරුණු සම්බන්ධයෙන් 2025 මැයි 22 වන දින නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියකින් දැනුම් දී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසරක් ඇතුළත නඩු විභාගයක් ආරම්භ කර නොමැති නම් අභියාචනාධිකරණයට ඇප ලබා දිය හැකි බවත්, රැඳවුම් නියෝගයක් (DO) නිකුත් කර මාස දොළහක් ගතවීමෙන් පසු නඩු විභාගයක් ආරම්භ කර නොමැති නම් මහාධිකරණයට ඇප ලබා දිය හැකි බවත් රජයේ වාර්තාවල දැක්වෙන නමුත්, පරිපාලනමය රැඳවුම් කාලය පිළිබඳ නීතිමය සීමාවන් මගහැර දින නියමයක් නොමැතිව රැඳවුම් භාරය දීර්ඝ කිරීම සඳහා රජය හිතාමතාම විවිධ නඩු අංක යටතේ රැඳවුම් නියෝග භාවිතා කරන බවද වික්‍රමරත්න මහතා චෝදනා කරයි.
තම පුත්‍රයාට ලබා දෙන බාල තත්ත්වයේ ආහාර හේතුවෙන් ආහාර විෂවීමක් හෝ බරපතළ රෝගාබාධයක් ඇතිවිය හැකි බවට ඔහු දැඩි බියකින් පසුවන බවද සඳහන් වේ. රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන්ට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර තිබුණද, ඔහුට එම අවස්ථාව තහනම් කර ඇත. අඩි 12x12 ප්‍රමාණයේ කුටියක තනිවම රඳවා සිටින ඔහුව දිනකට පිටතට ගනු ලබන්නේ පැය තුනක කාලයක් සඳහා පමණක් වන අතර, ඔහුට ආහාර සපයන නිලධාරීන් පවා ඔහු සමග කතා නොකරන බව පැවසේ. මානසික අවපීඩනය සමනය කර ගැනීම සඳහා සිය සිතුවිලි සටහන් කර ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණද, ඉල්ලීම් කර තිබියදීත් පෑනක් හෝ ලබා දී නොමැති බවද වාර්තා වේ.
හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ පසුව ධුරයෙන් ඉවත් කරන ලද හිටපු පොලිස්පතිවරයෙකු විසින් ඉල්ලා සිටි රුපියල් මිලියන 30ක අල්ලසක් දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව, ඔහුව සිර කුටියෙන් පිටතට ගන්නා කාලය පැය හයේ සිට පැය තුන දක්වා අඩු කළ බවට නිදසුනක්ද ඔහුගේ පියා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග අද දින පැවැත්වෙන සංවාදයේදී අවධානය යොමු කරන ලෙසත්, නිකුත් කිරීමට නියමිත සමාප්ති නිරීක්ෂණ සහ නිර්දේශ තුළ මෙම කරුණු ඇතුළත් කිරීම සහතික කරන ලෙසත් නෙල්සන් වික්‍රමරත්න මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval