surveyor-arrested-for-defrauding-68-million-under-the-guise-of-an-online-business

අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාරයකට ආයෝජනය කරන මුවාවෙන් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 68ක මුදලක් වංචා කරන ලද මිනින්දෝරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වයඹ පළාත භාර ඒකකයට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.





මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයෙකි. පැමිණිලිකරුගෙන් ලබාගත් මුදල් වෙනත් අයෙකුගේ බැංකු ගිණුමකට බැර කරවා, පසුව ඉන් කොටසක් සිය ගිණුමට ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු නුදුරේදීම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ අධීක්ෂණය යටතේ, පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන්, වයඹ පළාත් පරිගණක ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මලීෂ හේරත් මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.