ජාතික ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ නියමිත පරිදි ඉදිරිපත් කර ඇති බවත්, එම තොරතුරුවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට අභියෝග කළ හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 16 වන දින කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය. දේශපාලකයෙකු සතුව දේපළ පැවතීම ගැටලුවක් නොවන නමුත්, එම දේපළ අයථා ලෙස උපයා ඇත්නම් එය ගැටලුකාරී තත්ත්වයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවිධ අදහස් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මෙම කරුණු පැහැදිලි කළේය. 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතට අනුව, මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දීම අනිවාර්ය වේ. එම පනතේ ප්‍රතිපාදන යටතේ, හෙළිදරව් නොකළ යුතු පෞද්ගලික තොරතුරු හැරුණු කොට අනෙකුත් විස්තර මහජනතාවගේ දැනගැනීම පිණිස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.
තම වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් රුපියල් මිලියන 275ක් වන දේපළ, පාරම්පරික උරුමයෙන් ලැබුණු සහ තමා විසින් ව්‍යාපාර කටයුතු මගින් වර්ධනය කරගත් ඒවා බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශ කර තිබිණි.
මෙම පසුබිම පැහැදිලි කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, සිය මන්ත්‍රීවරුන් ජුනි 30 වන දිනට පෙර වත්කම් ප්‍රකාශ ලබා දී ඇති බවත්, ඒවා ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැකි බවත්ය. කිසියම් අයෙකුට එම දේපළ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒවා අයථා ලෙස උපයාගත් බවට අභියෝග කිරීමට නීතිමය අවස්ථාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සිදුවීම් මධ්‍යයේ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ අභියෝගයට ලක් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සැප්තැම්බර් 16 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එම පැමිණිල්ල සිදු කළ බව තුෂාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval