sri-lankan-woman-who-faked-kuwaiti-citizenship-gets-job-offer

කුවේටයේ දී වසර 33ක් ව්‍යාජ අනන්‍යතාවක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට කුවේට් පුරවැසිභාවය අහිමිවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුවේටයේ හැඳුනුම්පත් සහ පුරවැසි පද්ධතියේ විශාල අඩුපාඩු හෙළිදරව් වූ මෙම සිදුවීමෙන් පසු එරට බලධාරීහු මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇත.



හූඩා අටා නමින් එම කාන්තාව කුවේට් ජාතික පුරුෂයකු සමඟ විවාහ වී, ගැබ් ගැනීමක් මවා පෙන්වා, පුරවැසිභාවය ලබා ගැනීමට කටයුතු කර තිබේ. කොස්තා නමින් හඳුන්වන ඇය 1992 වර්ෂයේදී ගෘහ සේවිකාවක් ලෙස කුවේටයට ගිය අතර, වසර දෙකකට පසු නීති විරෝධී ලෙස රටෙන් පලා යාම හේතුවෙන් පිටුවහල් කර තිබේ.

කෙසේ වෙතත්, 1996 වර්ෂයේදී ඇය වෙනත් නමකින් සහ වෙනත් ගුවන් ගමන් බලපත්‍රයකින් නැවත කුවේටයට ඇතුළු වී ඇත. එවකට ජෛවමිතික තොරතුරු පරීක්ෂා කිරීමේ පද්ධතියක් නොතිබූ බැවින් ඇයට පහසුවෙන් කුවේටයට ඇතුළු වීමට හැකි වී ඇත.



කුවේටයට නැවත පැමිණි පසු කොස්තා කුවේට ජාතික කුලී රථ රියදුරකු සමඟ විවාහ වී තිබේ. කුවේටයේ පුරවැසි නීතියට අනුව, විදේශීය කාන්තාවකට කුවේට් පුරවැසියකු සමඟ විවාහ වී දරුවකු ලැබීමෙන් පසු කුවේට් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම නීතිමය තත්ත්වය තම වංචනික ක්‍රියාවලියට යොදා ගැනීමට ඇය කටයුතු කර ඇත.

කුවේට් නීතියට අනුව ඇය තම සැමියාට ගැබ්ගෙන ඇති බව පවසා ඇත. ඇය තවත් ගැබිනි ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ එක්වී ඇයගේ හැඳුනුම්පත භාවිතා කර කුවේටයේ රෝහලක දරුවා බිහි කිරීමට කටයුතු කර ඇත. මෙම අලුත උපන් දරුවා කොස්තා සහ ඇගේ කුවේට් සැමියාගේ දියණිය ලෙස අසත්‍ය ලෙස ලියාපදිංචි කර ඇත. ඇයට හෝ ඇගේ සැමියාට දරුවා සමඟ කිසිදු ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නොතිබූ අතර, සැමියා මේ පිළිබඳව දැනුවත්ව සිට නැත.

2000 වසරේදී, කොස්තා විවාහය සහ දරුවා හේතු කරගෙන කුවේට් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර ඇත. ඇගේ ඉල්ලුම්පත අනුමත වූ අතර, ඇය කුවේට් පුරවැසියකු බවට පත්ව ඇත.

කලක් පැවති විවාහ ආරවුල් හේතුවෙන් 2008 වර්ෂයේදී කොස්තා තම සැමියාගෙන් දික්කසාද වූ පසු, දරුවා ඔහුගේ නොවෙන බව පාපොච්චාරණය කර තිබේ. ඔහු බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන්නද, එවකට කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.



කෙසේ වෙතත්, 2021 වසරේදී ඔහු විසින් නැවතත් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඩීඑන්ඒ පරීක්ෂණ මගින් දරුවාට කොස්තා හෝ ඇගේ හිටපු සැමියා සමඟ කිසිදු ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නොමැති බව තහවුරු කර ඇත.

2024 වර්ෂයේදී පුරවැසි කටයුතු පිළිබඳ උසස් කමිටුව විසින් කොස්තා වංචනිකව කුවේට් ජාතිකත්වය ලබා ගෙන ඇති බව තීරණය කර ඇත. ඒ අනුව ඇගේ පුරවැසිභාවය අවලංගු කර තිබේ. දරුවාගේ ජීව විද්‍යාත්මක මව දරු ප්‍රසූතිය සිදුවූ කාලයේ කුවේටයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් බව බලධාරීහු තහවුරු කර ගත් අතර, ඇයව පසුව පිටුවහල් කර ඇත. දියණිය මේ වන විට වැඩිහිටියකු වන අතර, ඇයට ශ්‍රී ලාංකික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කර ඇත.