india-and-pakistan-to-meet-in-asia-cup-t20-final-for-the-first-time

 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් විය. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කරමිනි.



ඒ අනුව, මේ වනවිටත් අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දීය කණ්ඩායම සමඟ එළැඹෙන 28 වන දින ශූරතාව සඳහා පාකිස්තානය තරග වදිනු ඇත. වසර 1984 දී ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලියේ අදියර 17ක් පුරා විහිදුණු වසර 41ක ඉතිහාසයේ, ඉන්දියාව සහ පාකිස්තානය අවසන් මහා තරගයකදී මීට පෙර කිසිදු අවස්ථාවක හමු වී නොමැති වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.



බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස් කළේය. ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

එක්දින සහ විස්සයි20 යන ආකෘති දෙක යටතේම ඉන්දියාව ආසියානු කුසලාන ශූරතා 8කට හිමිකම් කියන අතර, පාකිස්තානය එම කිරුළ දෙවරක් දිනාගෙන තිබේ. බංග්ලාදේශ කණ්ඩායම මීට පෙර අවස්ථා තුනකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද, එම සෑම අවස්ථාවකදීම පරාජයට පත් විය.
මෙම තරගාවලියේ දැනටමත් අවසන් තරගයට සුදුසුකම් ලබා නැතිව ඉවතට විසුවුණ ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමග සිය සුපිරි 4  වටයේ තරගයට මුහුණ දෙන අතර එම තරගය අවසන් වටයට තෙරී ඇති ඉන්දියාවට පුහුණු තරගයක් වනු ඇති බවත් ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක් වනු ඇති බවත් පැවසේ.



gossiplanka image 1