ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන "බැකෝ සමන්" ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානිට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා, ලබන 25 වන දා අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ඊයේ (18) නියෝග කරන ලදී.
සැකකාරියට එරෙහිව 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත යටතේ එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. සැකකාරිය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදීම සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා සිටියද එය ඉටු නොවීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සිය අවධානය යොමු කළේය.
එළඹෙන නඩු දිනයේදී රජයේ නීතිඥවරයෙකු පෙනී සිටිය යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුවටද නියෝග කෙරුණු අතර, සතියක් ඇතුළත නඩුව නැවත කැඳවීමට තීරණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, සැකකාරියට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේද චෝදනා ගොනුකර ඇති බවයි. ඇය සතු විදේශීය බැංකු ගිණුම් හතරක් පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය හරහා වාර්තා කැඳවා ඇති බවත්, ඇඹිලිපිටියේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 38ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට ඇයගේ සම්බන්ධය පිළිබඳව නීතිපති උපදෙස් අපේක්ෂාවෙන් සිටින බවත් විමර්ශන නිලධාරීහු පැවසූහ. සැකකාරිය සහ ඇගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම හෙළිවීමත් සමඟ 2022 වසරේදී දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් ව්‍යාජ ලෙස සකසා විදේශගතවී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කියා සිටියේ, ඇයට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීමක් ගැන සෘජු සාක්ෂි නොමැති බවත්,
බොහෝ චෝදනා ඇගේ සැමියාට එරෙහිව පවතින ඒවා බවත්ය. බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරියගේ කුඩා දරුවාගේ අසනීප තත්ත්වය සහ ඇයට භාරකරුවෙකු නොමැතිවීම යන කරුණු සලකා බලා සුදුසු ඇප කොන්දේසි මත ඇයව මුදාහරින ලෙසද නීතිඥවරු ඉල්ලා සිටියහ.
මින් ඉහත සැකකාරියගේ දරුවා සීයා බාරයේ තබන බව කීවත් ඊයේ අදිකරණයට ගෙන ආවේ ඇය විසින්ය. මෙම ක්‍රියාව ඇප ලබාගැනීමට අනුකම්පාව දිනාගැනීමට කරන ලද්දක් බවට විවේචන පළ විය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුව නැවත ලබන 25 වන දා කැඳවන තෙක් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval