dan-priyasads-killer-arrested-in-kegalle

 කෑගල්ල, රංවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය තහවුරු කරයි.





මෙම සැකකරුවන් රංවල ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 12,400ක්, ගජමුතු පහක් සහ මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වූවන් අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් වන අතර, ඔවුන් කෑගල්ල සහ වැලිඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 55 සහ 39 හි පසුවන මෙම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක්ද සොයා ගැනීමට බලධාරීන් සමත් විය.

මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවූ අයෙකු බවට තොරතුරු ලැබී ඇති අතර, ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇත්තේද ඔහු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. තවද, 2024 වසරේ මාර්තු මස 28 වන දින මහබාගේ පොලිස් වසමේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකටද ඔහු ප්‍රධාන සැකකරු ලෙස සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇත.