ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වීම පිණිස ඉකුත් 22 වැනිදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා ඇමරිකානු වේලාවෙන් සැප්තැම්බර් 24 වැනි බදාදා පස්වරු 3.15 ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුර ජනාධිපති දිසානායක මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ඇතුළු ලෝක නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. තවද, ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද හමුවක් පැවැත්වීමට අපේක්ෂිතය.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා සමඟ එක්ව සිටී.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපන් රජයේ නිල ආරාධනයකට අනුව සැප්තැම්බර් 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත. එම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ අධිරාජ්‍යයා හමුවීමට නියමිත අතර ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ ද පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කිරීම සඳහා සමුළුවකට සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ ජපාන ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් ටෝකියෝ නුවර පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමතීමට ද ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ආර්ථික විභවයන් ඉස්මතු කරමින් "එක්ස්පෝ 2025 ඔසාකා" හි පැවැත්වෙන ශ්‍රී ලංකා දිනයට ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික විදෙස්ගත ප්‍රජාව ඇමතීමට ද මෙහිදී අවස්ථාවක් හිමිවනු ඇත. දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂිත මෙම ජපාන සංචාරය සඳහා ද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපතිවරයා සමඟ එක්වනු ඇත.
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිමවී නැවත දිවයිනට පැමිණෙන තෙක් අමාත්‍යාංශ කිහිපයක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත්කර තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත්කර ඇත. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා එම අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval