හම්බන්තොට, මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, ඔහුගේ සහෝදරයා වන සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු අනුවය. ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තෙකු විසින් මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ. පොලිසිය සඳහන් කළේ, හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකු හා ඔහුගේ සහෝදරයා මෙම රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිටි බවයි.
එම ස්ථානයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී, ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් ද සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී ඇත. මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුතෙන් කපන ලද කාණුවක තිබී විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බ 5ක්, T 56 ගිනි අවි උණ්ඩ 17ක් සහ 12 බෝරා ගිනි අවි උණ්ඩ 3ක් සොයාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval