nalin-pradeep-udawela-bids-farewell

 ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) අලුයම 5.45ට පමණ දැයෙන් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහිවූ ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන අංශ තුනෙහිම සිය ප්‍රතිභාව විදහාලූ ඒ මහතා රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.



'ජූරිය', 'කැලණි පාලම', 'මෝදර මෝල' සහ 'මී හරක් සුද්දෙක් ඔබ අමතයි' වැනි වේදිකා නාට්‍ය රැසකම ඔහුගේ මතකයේ රැඳුණු රංගනයන් දැකගත හැකි විය. එමෙන්ම 'අකුරු මැකී නෑ', 'අපර්ණා', 'බට්ටි', 'ඇත් කඳ ලිහිණි', 'ඉසුරු පවුර', 'කසී සලු', 'මොනරවිල', 'නිසලවිල', 'සුදු හාමිනේ' සහ 'සුවඳ පද්ම' ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකටම නලින් ප්‍රදීප් උඩවෙල මහතා සිය රංගන දායකත්වය ලබා දී තිබේ.



සිය කලා දිවිය තුළ ඉහළ ඇගයීමකට ලක් වූ උඩවෙල මහතා 'නිසල විල', 'තාරකා මල්' සහ 'ආසයි මං පියාඹන්න' යන නිර්මාණවලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.දෙදරු පියෙක්  වන නලින් දේශපාලනයට සම්බන්ධව සිටි අතර මින් ඉහත පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. දැනට කොළඹ දිස්ත්‍රික් සජබ සංවිධායකවරයෙක් ලෙසද සිටියේය.අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ.