minister-wasantha-samarasinghe-says-assets-worth-rs-275-million-are-property-acquired-through-inheritance-and-business

 අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (15) රාත්‍රියේ පැවති රූපවාහිනී දේශපාලන සංවාදයකට එක්වෙමින්
තම වත්කම්-බැරකම් ප්‍රකාශයේ සඳහන් රුපියල් මිලියන 275ක් වූ දේපළ, පාරම්පරික පවුල් උරුමයෙන් ලැබුණු සහ තමන් වසර ගණනාවක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරමින් වැඩිදියුණු කළ වත්කම් බව කියා සිටියේය.


සමාජ මාධ්‍ය තුළ සම්ගැන සංවාදයක් මතුවීම සාධාරණ බවත් තමන් අතවැරදි හම්බකිරීම් නැති බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

 
සිය වත්කම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව නැඟෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.

තඹුත්තේගම නගරයේ පිහිටි තම වාණිජ ගොඩනැගිලි දෙක මෙම වත්කම්වල ප්‍රධාන කොටස බව පෙන්වා දෙන ඒ මහතා, ඉන් එක් ගොඩනැගිල්ලක් මීට වසර 28කට පමණ පෙර පොල් කොටන් මත ආරම්භ කළ උපකාරක පන්තියක් ලෙස ක්‍රමයෙන් සංවර්ධනය කළ එකක් බව පැවසීය.

පරම්පරාවෙන් හිමිවූ ඉඩමක ඉදිකළ එය අද වන විට එම නගරයේ විශාල ගොඩනැගිල්ලක් බවට පත්ව ඇති අතර එය කුලියට දීමෙන් තමන් ආදායමක් ලබන බවද ඔහු සඳහන් කළේය. අනෙක් ගොඩනැගිල්ලද බැංකු ණය ආධාර ඇතිව ක්‍රමානුකූලව ගොඩනැඟූවක් බව ඔහු පැහැදිලි කළේය.

තමන් තරුණ වියේ සිටම ව්‍යාපාරික කටයුතුවල නිරත වූවෙකු බවත්, උපකාරක පන්තිවලට අමතරව ගොවිතැන, වෙළඳසැල් පවත්වාගෙන යාම, කොටස් වෙළෙඳපොළ ආයෝජන මෙන්ම කොවිඩ් වසංගත සමයේ ක්‍රිප්ටෝ මුදල් ආයෝජනවල පවා නිරත වූ බවත් සමරසිංහ මහතා කියා සිටියේය. මෙම සියලු ආදායම් මාර්ග ඔස්සේ සිය ආර්ථිකය ශක්තිමත් කරගත් බව ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍ය ධුරය භාවිත කරමින් හෝ කිසිදු මහජන මුදලක් සිය වත්කම් ගොඩනැගීම සඳහා යොදාගෙන නොමැති බවට සිය හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් ප්‍රකාශ කරන බවද හෙතෙම අවධාරණය කළේය. සිය බිරිඳගේ නිවස සහ 2006 වසරේ විවාහයේ සිට රැස් කළ රන් ආභරණවල වර්තමාන වටිනාකමද මෙම ප්‍රකාශයට ඇතුළත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.