දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව පිවිසුම් අතර අද (16) අලුයම සිදු වූ බිහිසුණු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇත. ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වහාම කහතුඩුව වෑතර දිසා රෝහලට සහ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
තුවාලකරුවන් අතර සිටි කුඩා දරුවන් තිදෙනාගේ තත්ත්වය සලකා බලා ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊශ්‍රායල් රටේ රැකියාව කළ පුද්ගලයෙකු අද දින මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් සිටි කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු ගමන් ගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබූ අතර අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තවලම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.
හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනාගෙන් එක් කාන්තාවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, අනෙක් කාන්තාව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඕපාත වීරතොට මල් දූව ගෙදර, ඉද්ද කැටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 35 හැවිරිදි තැනැත්තියකි.
මියගිය කාන්තාවගේ දේහය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval