හිටපු ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු වූ සම්පත් මනම්පේරි, මෑතකදී සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ ආයුධ වැටලීමක් සමඟ ඔහුගේ නම සෘජුවම සම්බන්ධ වීමත් සමඟ නැවතත් කරළියට පැමිණ තිබේ. පසුගියදා අධිකරණයට භාර වීමෙන් අනතුරුව, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
මෙම සිදුවීමත් සමඟ, මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්හි සංකීර්ණ ස්වභාවය පිළිබඳව නවතම තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව, සම්පත් මනම්පේරි කලක් 'බැකෝ සමන්' නැමැත්තාට අයත් බස් රථයක රියදුරෙකු ලෙස සේවය කර ඇත. පසුගිය පෙබරවාරි මස 18 වන දින මිද්දෙණියේදී 'කජ්ජා' සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීම මෙහෙයවීමේ චෝදනාව එල්ල වී ඇත්තේ මෙම 'බැකෝ සමන්' සහ 'තැමිලි ලහිරු' යන අයටයි.
මනම්පේරි විසින් සඟවා තිබූ බව කියන ආයුධ, බැකෝ සමන් විසින් ඔහුට ලබා දී ඇති බවට ද විමර්ශන හරහා කරුණු හෙළිවෙමින් පවතී. මෙම තත්ත්වය තුළ මනම්පේරි සහ බැකෝ සමන් අතර පවතින ගැඹුරු සබඳතාව පැහැදිලි වන අතර, ඔවුන් එකම අපරාධ ජාලයකට අයත් දැයි යන සැකය මතුව තිබේ.
සම්පත් මනම්පේරිගේ අතීතය ද විවිධ මතභේදාත්මක සිදුවීම් සමඟ බද්ධ වී ඇත. ඔහු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්තව සේවය කළ අයෙකි. එම කාලසීමාව තුළ සිදුවූ පැහැරගැනීම් සහ ඝාතන කිහිපයකටම ඔහුගේ නම ගෑවී තිබිණි. විශේෂයෙන්ම, 'කලා ට්‍රේඩර්ස්' හිමිකරු ශ්‍රී ස්කන්ධරාජා පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීමේ සිදුවීම ඒ අතර ප්‍රධාන වේ. තවද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වූ නමුත්, පසුව නීතිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ සාක්ෂිකරුවෙකු බවට පත් විය.
2016 වසරේදී මහාධිකරණය විසින් එම නඩුවේ සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ අතර, ඊට අදාළ අභියාචනයක් මේ වන විට අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතී.
මෑතකදී සොයාගත් උණ්ඩ තොගයේ 'K.P.I' ලෙස සඳහන්ව තිබීම, මෙම ජාලය 'කංචිපානි ඉම්රාන්' දක්වා විහිදෙන්නේද යන සැකය විමර්ශකයන් තුළ ඇති කර තිබේ. 'කංචිපානි ඉම්රාන්', 'උනාකුරුවේ ශාන්ත', සම්පත් මනම්පේරි සහ 'කෙහෙල්බද්දර පත්මි', 'බැකෝ සමන්' ඇතුළු පිරිස එකම සංවිධානාත්මක අපරාධ ජාලයක සාමාජිකයන් ද යන්න පිළිබඳව ආරක්ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. පසුගිය කාලය පුරා දිගින් දිගටම සිදු වූ සංවිධානාත්මක අපරාධ රැසක සුලමුල මෙම ජාලයන් හරහා හෙළිදරව් කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval