former-army-soldier-arrested-on-suspicion-of-murdering-four-people

 කොන්ත්‍රාත් මිනීමැරුම් හතරකට සම්බන්ධ බවට සැකකෙරෙන හිටපු යුද හමුදා සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අගෝස්තු මාසයේදී පමණක් පුද්ගලයන් සිව් දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිවලට සැකකරු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.



අම්පාර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවය.

ඔහු පසුගිය අගෝස්තු 07 වනදා බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට හෙළි වී ඇත.

තවදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අගෝස්තු 21 වනදා බණ්ඩාරගම, තුන්බෝධිය පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වූ ලලිත් කෝදාගොඩ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සහ අගෝස්තු 27 වනදා පානදුර දකුණ අළුබෝගහවත්ත ප්‍රදේශයේදී 'කුඩු නිලංග' නැමැත්තාගේ මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධියට ද සැකකරු සම්බන්ධ බවයි.

මෙම ඝාතන තුන සඳහාම ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. පොලිසිය වැඩිදුරටත් කියා සිටින්නේ, සැකකරු 2015 වසරේදී යුද හමුදා සේවයෙන් පලා ගොස් 'කුඩු සළිඳු', 'දෙහිබාලේ අයියා', 'දෙහිබාලේ මල්ලි' සහ 'වැලිගම සහන්' යන අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවත්, ඔවුන්ගේ කොන්ත්‍රාත් මිනීමරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට සැක කරන බවත් ය. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දමන පොලිසියට භාර දී තිබේ.