පසුගියදා බන්ධනාගාරගතව සිටියදී රෝගාතුරවීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය රාත්‍රී කාලයේ රෝහලට පැමිණි බවට පළවූ අසත්‍ය තොරතුරේ මූලාශ්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. එම ව්‍යාජ පුවත මාධ්‍ය වෙත ලබා දී ඇත්තේ ජාතික රෝහලේ සේවය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන බව අනාවරණය වී තිබේ.
මෙම පුවත ඔහු තහවුරු කළ පසුව හිරු මාධ්‍ය ජාලය ඔස්සේ පමණක් එය ප්‍රචාරය විය.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් මාධ්‍ය වෙත හෙළි කර තිබූ පුවත හිරු නාලිකාව ප්‍රචාරය කිරීමෙන් පසු එය බොහෝ සෙයින් සමාජ මාධ්‍ය වේදිකා හරහා බෙදා ගෙන අනවශය ප්‍රශ්නයක් කලඑළි දකින්නට පාර කැපිණි.
මෙම ව්‍යාජ පුවත තුළින් ආණ්ඩුවේ ඉහළ පුටුවල සිටින අය මත දෙකක සිටින බව අනියම් ආකාරයෙන් හඟවා දේශපාලන ක්‍රමන්ත්‍රණයකට පාර කපන්නට උත්සාහ දැරූ අතර පුවත පළවූ විගස එය නිවැරදි කරන ලෙස අගමැතිනියගේ උපදෙස් මත එම ලේකම්වරයා අදාළ මාධ්‍ය ආයතන ප්‍රධානියාට ලිපියකින් දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් එයට අනුගතවී එම පුවත එකී මාධ්‍ය තුළ පළකිරීම්හි වෙනසක් කර තිබුනේ නැති අතර පසුව කළ පැහැදිලි කිරීමකින් දන්වා තිබුනේ තම මාධ්‍ය ආයතනයට එම තොරතුරු තහවුරු කළ රෝහල් ප්‍රකාශකගෙන් ලැබුණ බවකි.
රෝහල් ප්‍රකාශක වූයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන යි. මෙම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයෙකු හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යනුවෙන් තවත් ඉහළ තනතුරු පවතිද්දී රනිල් ඇතුළත් කළ වෙලාවේ සිට මාධ්‍ය අමතමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන ලද්දේ මොහුය.
මෙම හෙළිදරව්ව සමඟ අදාළ වෛද්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන පොලිස් කණ්ඩායම, පසුගිය 29 සිකුරාදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පසුගිය 28 බ්‍රහස්පතින්දා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන්ද සීඅයිඩීය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඊට අමතරව, කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා, හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ සේවය කළ හෙද කාර්ය මණ්ඩලය සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ දක්වා සිදුකර ඇති විමර්ශනවලට අනුව, අග්‍රාමාත්‍යවරිය කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීම සඳහා ජාතික රෝහලට පැමිණ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිශ්චිතවම තහවුරු කරගෙන තිබේ.
මෙම අසත්‍ය පුවත මුලින්ම වාර්තා කළ හිරු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවියේ ප්‍රධානීන් සහ තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් CIDය ප්‍රශ්න කර ඇති අතර, ඔවුන් සියලු දෙනාම තමන්ට මෙම තොරතුර තහවුරු කළේ අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍යවරයා බවට සාක්ෂි ලබා දී තිබේ. එම තොරතුරු ලබාදුන් වේලාවන් සහ භාවිත කළ දුරකථන අංක ඇතුළු සාක්ෂි ද ඔවුන් විසින් විමර්ශන නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.
මේ අතර, හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කිරීමෙන් පසු සිදු වූ ඇතැම් සිදුවීම් අතිශයෝක්තියට නැංවීම,
වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම සහ නීති විරෝධී ලෙස රහස්‍ය වෛද්‍ය තොරතුරු මාධ්‍යයට හෙළි
කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය බෙල්ලන මහතාට එරෙහිව වෙනත් විනය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
වෛද්‍ය බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ මතුගම සංවිධායකවරයෙකු ලෙස සේවය කර ඇති අතර එජාප නායකයාට පක්ෂපාත වෛද්‍ය සංගමයක්ද පවත්වාගෙන යයි.
ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස නොව දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන බවට චෝදනා පවතී.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් පසුගියදා සුදාගේ යූටියුබ් නාලිකාවට පැමිණි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් අගමැතිනිය ආ කතාව ගැන කළ ප්‍රශ්න කිරීමේදී පවසා සිටියේ, 'ආ මටත් එහෙම දෙයක් කටකතාවකින් ආරංචි වුණා. උදේට එක එක අය ඇවිත් කියනවනෙ වෙච්ච දේවල්.ඒත් මං දන්න තරමින් ඕක මාධ්‍ය වල ගිය බොරුවක්' යනුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval