ceb-to-operate-from-midnight-today


ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, සංශෝධිත විදුලිබල පනතට පටහැනිව සිදුකරන බවට චෝදනා කරමින්, ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයෝ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 

මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති එක්ව මෙම තීරණය ගෙන ඇත්තේ, ප්‍රතිව්‍යුහගතකරණය විධිමත්ව සිදුකර සේවක අයිතීන් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලීම් 24කට විසඳුම් නොලැබීම හේතුවෙනි. ලංවිම ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක රාමනායක මහතා ප්‍රකාශ කළේ, මෙම ක්‍රියාමාර්ගයේ පළමු අදියර සැප්තැම්බර් 15 වන දා දක්වා ක්‍රියාත්මක වන බවයි.

ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් දෙවන අදියරේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව වෘත්තීය සමිති පිළිගනී. එහෙත්, තම අරමුණ මහජනතාව පීඩාවට පත් කිරීම නොව, තම ඉල්ලීම් සඳහා බලධාරීන්ගේ සාධනීය මැදිහත්වීමක් ලබා ගැනීම බව ඔවුහු අවධාරණය කරති.

මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයාට සෘජුව මැදිහත් විය හැකි බවත්, එම මැදිහත්වීම සිදුවන තෙක් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් සිදුකරන බවට බලධාරීන් අවස්ථා කිහිපයකදී වාචිකව එකඟ වුවද, එම එකඟතා කඩකරමින් පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන අයුරින් කටයුතු සිදුවන බවට වෘත්තීය සමිති නියෝජිතයෝ චෝදනා කරති. ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු පිහිටුවන නව සමාගම්වලට සේවකයන් අනුයුක්ත කරමින් නිකුත් කළ ලිපිවල පවතින අඩුපාඩු නිවැරදි කර දෙන ලෙස කළ ඉල්ලීම් බලශක්ති අමාත්‍යාංශය විසින් ඉටු නොකිරීම මෙම තත්ත්වය උඩුදුවීමට ආසන්නතම හේතුව වී තිබේ.