peradeniya-hospital-doctor-caught-driving-a-car-with-a-fake-number-plate

ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ වෛද්‍යවරියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල මාවතේදී සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.



මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ මෝටර් රථයට අදාළ කිසිදු ලියවිල්ලක් ඇය සතුව තිබී නොමැති අතර, මෝටර් රථය තම වෛද්‍ය සැමියාට අයත් එකක් බව ඇය පොලිසියට පවසා තිබේ.

සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, වෛද්‍යවරියගේ සැමියා විසින් ඔහුගේ සහෝදරයාට අයත් වෙනත් මෝටර් රථයක අංක තහඩු මෙම මෝටර් රථයට සවිකර ධාවනය සඳහා ලබා දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකාරියගේ වෛද්‍ය සැමියාද පොලිසිය වෙත කැඳවීමට නියමිතව තිබිණි.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මහනුවර අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.