budget-on-october-7th

 2026 වර්ෂය සඳහා වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ දේශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එළඹෙන ඔක්තෝබර් මස 07 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කාලසටහන පිළිබඳව කැබිනට් ප්‍රකාශක,

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සැප්තැම්බර් 16 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තොරතුරු ප්‍රකාශ කළේය.



අයවැය ක්‍රියාවලිය ආරම්භ කරමින් විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා සැප්තැම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. ජනාධිපතිවරයාගේ අයවැය දේශනයෙන් අනතුරුව, දෙවන වර කියවීමේ විවාදය ඔක්තෝබර් මස 08 වන දින සිට 14 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අයවැයේ කාරක සභා අවස්ථාව හෙවත් තෙවන වර කියවීමේ විවාදය ඔක්තෝබර් මස 15 වන දින ආරම්භ වී දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර, ඒ පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 05 වන දිනම සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ පාර්ලිමේන්තු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවී තිබේ. 2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ අනුමැතිය සැප්තැම්බර් 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇත.