
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට වෙන් කරමින් සිදු කිරීමට නියමිත නව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව හෙට (25) දින පැවැත්වීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබේ.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දීමට බලධාරීන් එකඟතාව පළ කිරීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
පසුගිය 4 වනදා සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාකච්ඡා අවස්ථාව හිමිවී ඇත.
කෙසේ වෙතත්, හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මහා වැඩ වර්ජනය අත්හිටවනු ලැබුවද, පසුගිය 04 වැනිදා සිට ක්‍රියාත්මක ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන බව ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා තහවුරු කළේය. අද දහවල් වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණවලට එළැඹ තිබේ.
2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතට අනුව, ලංකා විදුලිබල මණ්ඩලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් හතරක් ලෙස ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම ලෙස එම ආයතන පිහිටුවීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval