supreme-court-case-management-system-to-be-digitalized

 අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමනාකරණ පද්ධතිය සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය දියත් කිරීම පසුගියදා කොළඹදී සිදු විය. අධිකරණ සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මහජනතාවට ඵලදායී සේවාවක් ලබා දීම මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.



මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ 12, අධිකරණ මාවතේ පිහිටි විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන,

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා යන මහත්වරුන් අතින් මෙම පද්ධති දියත් කිරීම සිදු විය.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන මඟින් අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳ මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ ජනතාවට හා නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව සැලසීම අරමුණු කරයි.

පළමු අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කරන අතර, ඉන් අනතුරුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු සෙසු අධිකරණ ද මෙම ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විසිනි.

මීට අමතරව, අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු සහ සහතික පිටපත් ගාස්තු වැනි සියලු ගෙවීම් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම් ද අධිකරණ පද්ධතියට හඳුන්වා දී ඇත. ඒ යටතේ, කොළඹ අවට අධිකරණ කිහිපයක් සඳහා ගෙවීම් යන්ත්‍ර බෙදා දීමද මෙහිදී සිදු විය.