කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල නායකයෙකු වූ ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය, එම අපරාධය සිදු වූ කාලසීමාවේදීම ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
මෙම කරුණ අනාවරණය වී ඇත්තේ මෑතකදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරෙන පාතාල නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් සිදුකරන ලද හෙළිදරව්වකිනි.නීතිඥවරියක ලෙස වෙස්වලාගත් ඉෂාරා සෙව්වන්දි, නීති පොතක සඟවා ගිනි අවිය අධිකරණ ශාලාවට රැගෙන විත් වෙඩික්කරුට ලබා දුන් බවට චෝදනා එල්ල වේ.
මෙම ඝාතනයෙන් පසු ඇය සොයා රට පුරා නිවෙස් සහ කැලෑබද ප්‍රදේශ පවා පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් සෝදිසි කරනු ලැබූ නමුත් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. පද්මේගේ හෙළිදරව්ව මත ඇය විදේශගතව ඇති බවට තොරතුරු ලැබුණ ද, ඇය තවමත් මෙරට සැඟවී සිටින්නේද යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශනයක් පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
එකල සිදුකළ පරීක්ෂණවලදී, ඇය වෙඩික්කරු සමග මතුගම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකින් ආභරණ මිල දී ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පලා යන අවස්ථාවේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම වෙනත් රටක වාසය කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත. එම කණ්ඩායම ඩුබායි, තායිලන්තය, ලාඕසය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් කිහිපයක කලින් කලට වාසය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට ලැබී ඇති තොරතුරු තවදුරටත් තහවුරු කරගෙන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි පියවර ගන්නා බව පොලිසිය පවසයි. ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඇයගේ මව සහ සහෝදරයා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. පිළිකා රෝගයකින් පෙළුණු ඇයගේ මව, රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval