also-involved-in-the-murder-of-raviraj-caught-with-cannabis-before-sampath-manamperis-drug-stash-exposed

 පාතාල ලෝකයේ ප්‍රබල චරිතයක් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන කෙහෙල්බද්දර පද්මේ මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ කම්හලක් සම්බන්ධයෙන් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරද්දී මෙම කම්හල සඳහා ගෙනැවිත් තිබූ විශාල අමුද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය හා තංගල්ල ප්‍රදේශ වලදී වළ දමා තිබියදී සොයාගැනීමට හැකිවී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයන් අතර, අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී පියල් මනම්පේරී ගේ සොයුරකු වන අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් මන්ත්‍රී සම්පත් මනම්පේරිද සිටින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.වැඩ තහනමට ලක්ව සිටින කොස්තාපල්වරයකු ද වන ඔහු මේ වනවිට අතුරුදන්ය.



අත්අඩංගුවට ගැනීමට සොයන  සම්පත් මනම්පේරි පසුගිය රජයේ හිටපු මැති-ඇමතිවරුන් කිහිප දෙනකු සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ අයකු බවට තොරතුරු ලැබී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.  මේ වන විට සම්පත් මනම්පේරි ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලීසිය වාර්තා කරයි. පොලිසිය සඳහන් කරන පරිදි, මෙම පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු ද වේ. රවිරාජ් මහතා ඝාතනයට ලක්වූයේ 2006 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ ඇල්විටිගල මාවතේදීය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට කොළඹ පොලිසියක රාජකාරි කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ අතර, එහිදී ඔහු වැඩ තහනමට ලක්විය. වසර ගණනාවකට පසු ඔහු යළි සේවයේ පිහිටුවා ඇති අතර,

එසේ සේවයේ සිටියදී 2016 වසරේදී කැබ් රථයකින් ගංජා කිලෝග්‍රෑම් 106ක් ප්‍රවාහනය කළේ යැයි කියමින් මොනරාගල මූලස්ථාන පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා ජාවාරමට අදාළව පැවති විනය පරීක්ෂණයකින් පසු ඔහුගේ වැඩ යළි තහනම් කෙරිණි. වැඩ තහනමට ලක්ව සිටියදී යළිත් වරක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් ද ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර, අත්අඩංගුවට ගැනීමට සොයන  සම්පත් මනම්පේරිගේ වැඩිමහල් සොයුරා වන පියල් මනම්පේරි පෙරේදා (6) කොළඹ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු දින හතක කාලයක් සඳහා ඊයේ රැඳවුම් නියෝග ලබාගෙන ඇත. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍ය තොගය වළ දමා තිබූ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමේ කොටසක මඤ්ඤොක්කා වගාවක් සිදු කර තිබිණි. මෙම මඤ්ඤොක්කා වගාව කර තිබූ ස්ථානයේ අගලක සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ පහක්, ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 17ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ එකක් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා සොයා ගන්නා ලදී.

මෙම ආයුධ මෑතකදී එම ස්ථානයේ වළ දමා ඇති බව පෙනී යන බව පොලිසිය සඳහන් කළේය.

අක්කර පහක පමණ විශාලත්වයකින් යුතු මෙම ඉඩමේ අයිතිකරුවන් වන්නේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ සහ අත්අඩංගුවට ගැනීමට සොයන සොයුරාගේ මව්පියන් බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. ඔවුන් එම ගෙවත්තේ නිවාසවල පදිංචිව සිටිති. මෙම අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක කොළඹ වරායෙන් මුදාගෙන ගෙනැවිත් සඟවා තබාගෙන තිබී ඇත. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයන් පස්දෙනා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බව දැනගැනීමෙන් පසු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක කෙරෙන අමුද්‍රව්‍ය තොගය කන්ටේනර්වලින් ඉවත් කර වත්තේ වළ දමා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැලකෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 42,000ක තොගයක් එම ස්ථානයේ වළ දමා තිබී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සඳහා උපයෝගී කරගන්නා මෙම අමුද්‍රව්‍ය තොගය පකිස්තානයෙන් හෝ ඉරානයෙන් හෝ මෙරටට ගෙන ඒම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ බවත්, ඔහුගේ උපදෙස් මත කටයුතු කර ඇත්තේ බැකෝ සමන්, පානදුරේ කුඩු නිලංග, තැඹිලි ලහිරු සහ කමාන්ඩෝ සලින්ත නමැති පුද්ගලයන් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම අමුද්‍රව්‍ය තොගය ගොඩ ගැනීම සඳහා කැණීම් සිදු කරන අවස්ථාවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ විශේෂඥයන් කණ්ඩායම් ද එම ප්‍රදේශයට පැමිණ සිටියහ.