සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් 'අලි රොෂාන්' යනුවෙන් ප්‍රකට පුද්ගලයාට එරෙහිව පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, 'සමාධි' නම් අලියා නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඔහුව වරදකරු බවට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (19) තීරණය කරන ලදී.
මෙම තීන්දුවට අනුව, විත්තිකරුට පළමු චෝදනාව සඳහා බරපතළ වැඩ සහිත වසර පහක සිර දඬුවමක් නියම කෙරුණු අතර, දෙවැනි චෝදනාව සඳහා වසර පහළොවක සිර දඬුවමක් නියම කෙරිණි.
විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ එම දඬුවම් දෙකම එකවර ගෙවී යන පරිදි, සමස්ත සිර දඬුවම් කාලය වසර පහළොවකට සීමා විය යුතු බවයි.
සිර දඬුවම්වලට අමතරව, පළමු චෝදනාව සඳහා රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක්ද අධිකරණය විසින් නියම කරන ලදී. එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, මාස දෙකක ලිහිල් සිර දඬුවමක් ක්‍රියාත්මක වනු ඇත. දෙවැනි චෝදනාව සඳහා නියම වූ වසර පහළොවක සිර දඬුවමට අමතරව, රුපියල් ලක්ෂ දෙසිය හතරක දැවැන්ත දඩයක්ද නියම කෙරුණු අතර,
එය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව තවත් වසර හතරක සිර දඬුවමක් ගෙවීමට සිදුවන බවට නියෝග කෙරිණි.
මංජුල තිලකරත්න, ආර්. එස්. එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වූ අලි රොෂාන්ගේ සහෝදරයා ඇතුළු තිදෙනා, ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කළේය. බලපත්‍ර නොමැතිව අලි ඇතුන් කිහිප දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval