කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක සඟවා තිබූ රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ගමන් මලු ලබාගන්නා පථ අංක පහ ආසන්නයේ පිහිටි පිරිමි වැසිකිළියක මෙම මත්ද්‍රව්‍ය පාර්සල් අතහැර දමා ගොස් තිබී සොයාගෙන ඇත.
මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෂීෂ් කිලෝග්‍රෑම් 1.262ක් සහ කුෂ් ග්‍රෑම් 422ක් අඩංගු වූ බව බලධාරීහු තහවුරු කළහ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් 16,840,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
අද අලුයම 1.30 ට පමණ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත සේවකයෙකු විසින් මෙම පාර්සල් මුලින්ම දැක ඇති අතර, ඒ පිළිබඳව ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත වහාම දැනුම් දීමට ඔහු පියවර ගෙන ඇත.
පසුව රේගු නිලධාරීන් විසින් ගුවන්තොටුපොළේ ස්ථානගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය ඔවුන්ගේ භාරයට ගැනිණි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.