රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින ‘ඇඹිලිපිටියේ සුරංග’ නමැති සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරක් මත, හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය මහා පරිමාණ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. එම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් රසායනික ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් අඩංගු කෑන් 13ක් සහ වෙනත් උපකරණ රැසක් සොයාගෙන තිබේ.
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනාව මත ‘ඇඹිලිපිටියේ සුරංග’ නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළිවී ඇත.
නිවාඩු නිකේතනයේ නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තහවුරු වී තිබේ.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ‘පාණදුර නිලංග’ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙම මෝටර් රථය යොදාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත. මීට වසර දෙකකට පමණ ඉහතදී පොලිස් නිලධාරියෙකු විසින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේද මෙම මෝටර් රථයම බව පොලීසිය පවසයි.
මූලික විමර්ශනවලට අනුව, ඉරාන ජාතිකයින් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක්ව මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකර ඇති අතර, අදාළ ඉරාන ජාතිකයින් මේ වන විට රටින් පළා ගොස් ඇති බවට විශ්වාස කෙරේ. ජාවාරමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.ඉරාන ජාතිකයන් තිදෙනකු මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මෙමගින් නිෂ්පාදනය කර ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14 ක ප්‍රමාණයක් කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට අලෙවි කර තිබෙන බවත් කළුතර අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ විදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මිල ගණන්වලට ම බව ද පරීක්ෂණ මගින් හෙළි කරගෙන ඇත.
ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමගින් අත්අඩංගුවට ගත් පානදුරේ කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටියේ සුරංග නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය සමගින් පසුගිය (07වැනිදා) අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව වැල්ලවාය කීරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සම්පත් බණ්ඩාර නම් පුද්ගලයෙකු පානදුර අරුක්ගොඩදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන හම්බන්තොට මයුරපුර නිවස ගැන අනාවරණය වී ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ තමන් එම ස්ථානයේ රැඳී සිටී බවටද සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.
එසේම පොලිසිය මෙම ගොඩනැගිල්ල පරික්ෂා කළ අවස්ථාවේ එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නේ යැයි සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක්ද තිබී ඇත. එහි එක් කාමරයක් විද්‍යාගාරයක් සේ සකස් කර තිබී ඇති බවත් එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට භාවිත කළ බවට සැකකෙරෙන සුදු යකඩ කල්දේරම් 04ක්, ප්ලාස්ටික් බකට් 06 ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ද සොයාගත් බවත් කළුතර කොට්ඨාසය පවසයි. එමෙන්ම මෙම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත්තේ යැයි සැකකෙරෙන මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර එය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ නමට ලියාපදිංචි කර ඇත.
එම වාහනය මීට පෙරද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් භාරයට ගෙන පසුව මුදාහැරුණු මෝටර් රථයක් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් හා තැඹිලි ලහිරු යන අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී ජකාර්තා හිදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමෙන් පසු මොවුන් මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර තිබෙන බවට අනාවරණය විය.
මිද්දෙණිය ප්‍රදේශයේදී මොවුන් විසින් රැගෙන ආ රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 000 ක පමණ ප්‍රමාණයක් සොයාගත් අතර ඒවායේ සාම්පල 20 ක් ලබාගෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කළ පරීක්ෂණයේදී ලබාගත් සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ඇති බවට තහවුරු වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval