ඓතිහාසික සීගිරි කැටපත් පවුර මත සිය කොණ්ඩා කටුව භාවිතයෙන් අකුරු ලිවීමෙන් හානි සිදුකළ බවට චෝදනා ලැබූ තරුණියක, එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල දිසා අධිකරණය නියෝග කර තිබේ. දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා විසින් සැප්තැම්බර් 15 වන දින මෙම නියෝගය ලබා දෙන ලදී.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වියේ පසුවන මුත්තු කුමාරි නිරංජලා නැමැති තරුණියකි. ඇය සේවය කරන කර්මාන්ත ශාලාවකින් සංවිධානය කළ චාරිකාවක් අතරතුර 14 වන දා පස්වරුවේ මෙම සිදුවීම සිදුවී ඇත.
කැටපත් පවුරේ ඉංග්‍රීසි අක්ෂර හයක් පමණ සටහන් කරමින් සිටියදී පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාර තරුණිය වැඩිදුර විමර්ශන සඳහා සීගිරිය පොලීසිය වෙත භාරදුන් බව සීගිරිය පුරාවිද්‍යා කලාප භාර නිලධාරී ධනුක උදයංග මහතා පැවසීය. කැටපත් පවුර ස්පර්ශ කිරීම සහ එයට හානි කිරීම සපුරා තහනම් බවට භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කර තිබියදී මෙම සිදුවීම සිදුවීම කණගාටුවට කරුණක් බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
සැකකාරියගේ පියා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ තම දියණිය සීගිරිය නැරඹීමට ගියේ පළමු වරට බවයි. පුරාවිද්‍යා පනත යටතේ සැකකාරියට එරෙහිව චෝදනා ගොනුකර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව සීගිරිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර මහතා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval