ප්‍රකට දකුණු ඉන්දීය නළුවෙකු සහ තමිලග වෙත්ත්රී පක්ෂයේ නායක විජේගේ දේශපාලන රැළියක් අතරතුර ඇතිවූ දැඩි තෙරපීමකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ඛේදවාචකය 2025 සැප්තැම්බර් 27 වන දින තමිල්නාඩුවේ කරූර් ප්‍රදේශයේදී සිදුවී ඇත.
විජේගේ දේශපාලන ප්රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම දැවැන්ත රැළිය සංවිධානය කර තිබී ඇත්තේ කරූර්-ඊරෝඩ් මහා මාර්ගයේ වේලුසාමිපුරම් හිදීය. රැළිය සඳහා තිස් දහසකට අධික ජනකායක් රැස්ව සිටි අතර, නියමිත වේලාවට වඩා පැය හයක පමණ ප්‍රමාදයකින් විජේ එම ස්ථානයට පැමිණීමත් සමඟ ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබේ.
රැස්ව සිටි සෙනග පාලනය කරගත නොහැකි මට්ටමට ඉහළ යාමත් සමග ඇතිවූ තෙරපීම සහ අධික උණුසුම හේතුවෙන් රැළිය අතරතුර කිහිප දෙනෙකුම ක්ලාන්ත වී ඇද වැටී ඇත. තත්ත්වය නිරීක්ෂණය කළ විජේ, සිය කතාව අතරමග නතර කර රැස්ව සිටි පිරිසට ජල බෝතල් විසි කරමින් ඔවුන් සන්සුන් කිරීමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීමට ගත් උත්සාහයන් නොතකා ඇතිවූ තෙරපීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව තමිල්නාඩු සෞඛ්‍ය අමාත්‍ය මා. සුබ්‍රමනියන් තහවුරු කර ඇත. මියගිය අය අතර කාන්තාවන් 16 දෙනෙකු, පිරිමින් 9 දෙනෙකු සහ ළමුන් 6 දෙනෙකු වන බව දිස්ත්‍රික් බලධාරීන් පවසයි. මෙම සිදුවීමෙන් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
දැඩි ජනකාය හේතුවෙන් තුවාල ලැබූවන් වෙත ළඟා වීමට හදිසි සේවා කණ්ඩායම්වලට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවී ඇත. තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් සහ අනෙකුත් නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, තුවාල ලැබූවන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට නියෝග කර තිබේ. රැළිය සඳහා ආරක්ෂක මාර්ගෝපදේශ නිකුත් කර තිබුණද, රැස්ව සිටි සෙනග ප්‍රමාණය සහ ඇතිවූ තත්ත්වය හමුවේ ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව පෙනී යයි. මෙම ඛේදවාචකය විජේගේ දේශපාලන දිවියේ සුවිශේෂී මෙන්ම කණගාටුදායක සිදුවීමක් ලෙස සැලකේ.
Comments
Post a Comment
Your comment will be visible after approval