පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි දැරියක්, සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී, මුහුදු රළ පහරකට හසුවී ගසාගෙන යාමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර පසුගිය බදාදා (13) දින උදෑසන තංගල්ල, මාරකොල්ලිය, කපුහේන්වල වෙරළ තීරයේදී සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි කරන්නාගොඩ ලියනගේ දිහින්මා නෙතුලි පෙරේරා නම් දැරියයි. මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් ඇයගේ සොහොයුරිය ප්‍රකාශ කර ඇත්තේ, තමන් සහෝදර සහෝදරියන් තිදෙනා වෙරළේ සෙල්ලම් කරමින් සිටින විට එක්වරම පැමිණි සැඩ රළ පහරකට නංගී හසුවී බිම ඇද වැටුණු බවත්, ඇය රළ සමගම මුහුද දෙසට ගසාගෙන යන අයුරු දුටු බවත්ය.
දරුවන්ගේ දෙමාපියන් නිවාඩුව ගත කිරීම සඳහා තංගල්ලේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් හෝටලය තුළ රැඳී සිට ඇත. පෙර දින රාත්‍රියේදී එම වෙරළ තීරය දිය නැෑමට හෝ රළ පෑගීමටවත් සුදුසු නොවන බවට හෝටල් සේවකයින් විසින් තමන්ට අවවාද කර තිබූ බව මියගිය දැරියගේ පියා මරණ පරීක්ෂණයේදී පවසා තිබේ.
දරුවන්ගේ කෑගැසීමත් සමඟ දෙමාපියන් සහ හෝටල් සේවකයින් වෙරළට පැමිණ දැරිය සෙවීමට උත්සහ කළද එය ව්‍යර්ථ වීමෙන් අනතුරුව, නාවික හමුදාව දැනුවත් කර ඇත. පසුව, නාවික හමුදා නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පැයකට පමණ පසු දැරියගේ දේහය සොයාගනු ලැබිණි.
තංගල්ල මූලික රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී, දියේ ගිලී හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval