ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ඉදිරි දින දෙක තුන ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබාදුන් ස්වාධීනත්වයේ ප්‍රතිඵලයක් ලෙස
මෙම සාර්ථක මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට හැකිවූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියානු පොලීසිය එක්ව දින හතක් පුරා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව බව අමාත්‍යවරයා හෙළිදරව් කළේය. ඉන්දියානු බුද්ධි අංශවල සහාය ද මෙම මෙහෙයුම සඳහා ලැබී ඇති බවත්, කලක් අඩපණව පැවති මෙරට බුද්ධි අංශ යළි සක්‍රීය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ජයග්‍රහණ ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.
බොහෝවිට සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය වී ඇත්තේ දේශපාලනඥයින්ගේ ආශිර්වාදය මත බව පෙන්වා දුන් අමාත්‍ය විජේපාල මහතා,
වත්මන් රජය යටතේ එම තත්ත්වය මුළුමනින්ම නතර කර ඇති බවට සහතික විය. සංවිධානාත්මක අපරාධකරුවන් නිර්මාණය කළ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සබඳතා පිළිබඳව මෙන්ම ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් ද සුපරීක්ෂාකාරීව විමර්ශන ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නීතියට ඉහළින් කිසිවෙකුටත් සිටීමට ඉඩ නොතබන බවත්, තරාතිරම නොබලා නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මේ වන විට අපරාධකරුවන් 75 දෙනෙකුට පමණ රතු වරෙන්තු නිකුත් කර ඇති අතර, ඉන් 20 දෙනෙකුට අධික පිරිසක් නැවත මෙරටට ගෙන්වා නීතිය හමුවට පමුණුවා ඇත. ඉන්දුනීසියාවේ සිටින සැකකරුවන් ද මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval