රාජ්‍ය ආයතනවල නිල භාවිතය සඳහා නව කැබ් රථ දෙදහසක් ආනයනය කිරීමට රජය විසින් තීරණය කර ඇති පසුබිමක, BYD SHARK 6 වර්ගයේ plug-in hybrid රථ කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බවට වාර්තා පළ වේ. රුපියල් මිලියන 25.3ක් පමණ වන වෙළෙඳපොළ මිල, නඩත්තු කිරීමේ පහසුව සහ එය පෙට්‍රල්/ඩීසල් මෙන්ම විදුලියෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහනයක් වීම මෙම ආකර්ෂණයට හේතු වී තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන 2026 අයවැය යෝජනාවක් ලෙස සැලසුම් කර ඇති අතර, දුෂ්කර ප්‍රදේශවල සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන මුහුණ දෙන ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ රාජකාරී අවශ්‍යතා සඳහා වාහන නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි.
මීට පෙර රාජ්‍ය අංශයේ භාවිතය සඳහා වැඩි වශයෙන් යොදා ගැනුණේ Toyota සමාගමේ කැබ් රථ වන අතර,
ඒවායේ නඩත්තු වියදම් අධික වීම නිසා මෙවර විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ආනයනය කරන නිශ්චිත වාහන වර්ගය හෝ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ බොහෝ කාර්යාල සඳහා දීර්ඝ කාලයකින් නව වාහන ලබා දී නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වාහන ලබා දීමට කටයුතු කරන බව පැවසීය. ආනයනය කිරීමට සැලසුම් කර ඇති වාහන සංඛ්‍යාව දෙදහසක් වුවද, අවශ්‍යතාව මත එම සංඛ්‍යාව වෙනස් විය හැකි බවත්, වසර 15ක් පමණ භාවිත කළ හැකි ගුණාත්මක තත්ත්වයේ වාහන මිල දී ගැනීම රජයේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval