three-people-including-a-pradeshiya-sabha-member-arrested-for-trying-to-sell-a-gem-worth-rs-500-million

 බලපත්‍රයක් නොමැතිව රුපියල් මිලියන 500ක් වැනි ඉහළ මිලකට මැණික් ගලක් අලෙවි කිරීමට උත්සාහ කළ සමගි ජන බලවේගයට සම්බන්ධ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නවාතැන් ගෙන සිටි මෙම සැකකරුවන් පිරිස, මැණික් ගල අලෙවි කිරීම සඳහා සැලසුම් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිසියට ලද ඔත්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, උපාය දූතයෙකු ගැනුම්කරුවෙකු ලෙස යොදවා මෙම ගනුදෙනුව සිදු කිරීමට උත්සාහ කර තිබේ.

පොලිස් උපාය දූතයා විසින් කරන ලද කේවල් කිරීම්වලදී, සැකකරුවන් විසින් මුලින් ඉල්ලා සිටි රුපියල් මිලියන 500ක මුදල රුපියල් මිලියනයක මුදලක් දක්වා අඩු කර ගැනීමට එකඟතාව පළ කර ඇත. අත්අඩංගුවට ගත් මැණික් ගල සැබෑ වටිනාකමකින් යුක්තද, නැතහොත් එය ව්‍යාජ නිර්මාණයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 50ත් අතර වයස්වල පසුවන අතර,

ඔවුන් වත්තේගම සහ මඩවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මැණික් ගනුදෙනු සඳහා අනිවාර්යයෙන් තිබිය යුතු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සැකකරුවන් සතුව නොතිබූ බවද පොලිසිය තහවුරු කළේය.

මෙම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.